නිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපති නෑ

250

රනිල් සම්පූර්ණයෙන් ඉවත් කරනවද නියෝගය මාර්තු 1 වැනිදා

පාස්කු වන්දි නඩුවල වග උත්තරකරුවකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥ නියෝජනයක් සිදු නොකරන බව නීතිපතිවරයා ඊයේ (18 වැනිදා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මහේෂා ද සිල්වා මහත්මියට දැනුම් දුන්නේය.

පාස්කු වන්දි නඩු කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය අධිකරණයට ඒ බව දැනුම් දුන්නාය.

එම නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ විධායක ජනාධිපති ධුරය හොබවන බැවින් විත්තිකාරභාවයෙන් සම්පූර්ණයෙන්ම ඔහු ඉවත් කරන්නේ ද නැතිනම් ජනාධිපති ධුරය දරන කාලයේදී පමණක් විත්තිකාරභාවය තාවකාලිකව බහා තබා ගැනීමක් සිදු කරන්නේ ද යන නියෝගය ලබන මාර්තු 01 වැනිදා නිකුත් කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය.

ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින් ලබා දෙනු ලබන ඕනෑම නියෝගයක් තම දෙපාර්තමේන්තුව පිළිගන්නා බව රජයේ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

එම වන්දි නඩුවල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නම් කොට තිබූ අතර පාස්කු ප්‍රහාරය මැඬ පැවැත්වීමට අපොහොසත් වූ ඔවුන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නඩු 108 ක් ගොනු කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment