ගිලන් රථයක් තිබුණානම් ලක්මාල් බේරාගන්න තිබුණා – මහා ශිෂ්‍ය සංගමයේ කණ්ඩායම් නායක

717

සිසුවාගේ වියෝවෙන් කැලණි සරසවිය සසලවෙයි
මිනිත්තු 8ක් තුළ ශිෂ්‍යයා රෝහලට ගෙන ගියා – ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ

කැලණි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක රැඳී සිටි සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අපස්මාරය රෝගයට ලක්වී පෙරේදා (24 දා) රාත්‍රි මියයෑමත් සමග එම සිසුවාගේ ජීවිතය බේරාගැනීමට පහසුකම් සැපයීමට විශ්වවිද්‍යාල පරිපාලනය අසමත් වූ බවට චෝදනා කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් ඊයේ (25දා) දහවල් විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවීම නිසා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි නිරෝෂන් ලක්මාල් නමැති ශිෂ්‍යයෙකි. ඔහු තවත් මාස දෙකකින් සරසවි අධ්‍යාපනය අවසන් කිරීමට නියමිතව සිටි අතර කලක සිට අපස්මාර රෝගයෙන් පෙළී ඇති ඔහු එම රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

පෙරේදා රාත්‍රී 11.00 ට පමණ කැලණිය සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයේ රැඳී සිටියදී මෙම සිසුවාට අපස්මාර රෝගය වැළඳී බරපතළ තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ වාහනයක් ලබා ගැනීමට සෙසු ශිෂ්‍යයන්, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂවරයාට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබාගෙන ඇත. නමුත් ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූ බව මහා ශිෂ්‍ය සංගමයේ සිව්වන වසරේ කණ්ඩායම් නායක කසුන් දේවප්‍රිය ‘දිවයින’ ට පැවසීය. පසුව එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු මාර්ගයෙන් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂවරයා දැනුවත් කර වාහනයක් ගෙන්වා ගත් නමුත් ඒ වනවිට මිනිත්තු 30 ක් පමණ ගතවී තිබුණු බව ද ඔහු පවසයි.

එසේ ප්‍රමාදවී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කළ ශිෂ්‍යයා ඒ වනවිටත් මියගොස් සිටි බව පැවසූ ඔහු නිසි වේලාවට රෝගී සිසුවා රෝහලට රැගෙන ගියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණු බවද කීවේය.

‘අවුරුදු 20 ක ඉඳලා අපි කැම්පස් එකට ගිලන් රථයක් ඉල්ලනවා. ගිලන් රථයක් තිබුණා නම් ශිෂ්‍යයාව බේරාගන්න තිබුණා. මේ තරම් ළමයි ගොඩක් ඉන්න කැම්පස් එකට ගිලන් රථයක් නැතිවීම ලැජ්ජාවක්. අපි කියන්නේ ඉස්සෙල්ලාම කැම්පස් එකට ගිලන් රථයක් ලබාදෙන්න කියලා.

කෝටි ගණන් සල්ලි වියදම් කරලා පාලකයන්ට වාහන ගෙන්වන රටේ ලක්‍ෂ ගාණක් ශිෂ්‍යයෝ ඉන්න විශ්වවිද්‍යාලවලට ගිලන් රථය බැගින් අරන් දෙන්න බැරිනම් මොකක්ද නිදහස් අධ්‍යාපනය කියන්නේ.

අපි පාලකයන්ට තරයේම කියා සිටිනවා විශ්වවිද්‍යාලවල පහසුකම් නැතිකම නිසා මියගිය අවසන් සිසුවා බවට නිරෝෂන් පත්විය යුතුයි. එසේ නොවුණොත් සියලු විශ්වවිද්‍යාලවල පහසුකම් සම්පූර්ණ කරන තුරු අපි අඛණ්ඩ අරගලයක් ආරම්භ කරනවා යැයි ද ඔහු කීය.

කෙසේ වෙතත් මෙම ශිෂ්‍ය චෝදනාව සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ආචාර්ය කසුන් ප්‍රනාන්දු මහතාගෙන් ‘දිවයින’ කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ රැඳී සිටින උප ශාලාධිපතිවරයා දනුවත් කර මිනිත්තු තුනක් ඇතුළත විශ්වවිද්‍යාලයේ වාහනයක් නිදහස් කළ බවත් සිද්ධිය දැනුම් දී මිනිත්තු අටක් තුළ රෝගී සිසුවා කිරිබත්ගොඩ රෝහලට රැගෙන ගොස් ඇති බවත්ය.

මෙම ශිෂ්‍යයා රැඳී සිට ඇත්තේ සිව්මහල් නේවාසිකාගරයක වන අතර සිව්වන මහලේ සිට සිසුවා පහළට රැගෙන එන විටත් ඔහුගේ ශරීරය සුදුමැලිවී තිබුණු බව ආරක්ෂක අංශය දැන්වූ බවද ඔහු කීවේය.

විශ්ව විද්‍යාලයට පහසුකම් සහිත ගිලන් රථයක අවශ්‍යතාව තමාද පිළිගන්නා බව පැවැසූ ආචාර්ය කසුන් ප්‍රනාන්දු මහතා මේ වන විටත් ඒ පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව ද කීවේය.

එසේම මෙම ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා රැස්වූ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ගිලන්රථයක් කඩිනමින් මිලදී ගැනීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය නිවේදනය කළාය. තවද මෙම සිදුවීමේදී විශ්ව විද්‍යාල වෑන් රථය පැමිණීමේදී ප්‍රමාදයක් සිදුවූවා දැයි සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

කමල් බෝගොඩ, කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment