ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්නත් රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් නව ආණ්ඩුවක් ගොඩනඟමු

184

ජාජබ නායක අනුර කුමාර දිසානායක ටොරොන්ටෝ ශ්‍රී ලාංකිකයින් අමතමින් කියයි

ජනතාවගේ සහ පාලකයන්ගේ අපේක්ෂාවන් සමපාත වෙන පාලනයක් අපේ රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දිසානායක මහතා මේබව ප්‍රකාශ කළේ කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව අමතමිනි. එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

මෙතනට රැස්වී සිටින ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවෙන්න ඉඩ නොතබන බවට පොරොන්දු වෙනවා. ජනතාවගේත් පාලකයාගේත් අපේක්ෂාවන් එකක් බවට පත්වෙන ආණ්ඩුවක් අපි ලංකාවේ පළමු වතාවට හදමු. එහෙම පාලනයක් අපට අවශ්‍යයි. අපේ රටේ ඈත ගම්වල දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී සිටින ජනතාවට මෙයට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්නත් අපකීර්තියට පත්වෙලා තිබෙන අපේ රාජ්‍යයට කීර්තිය කැටුව එන සහ බංකොලොත්භාවයට පත්වී තිබෙන අපේ රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් අපි නව ආණ්ඩුවක් ගොඩනඟමු.

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසය වෙන කොට අපේ රටේ තිබෙන්නේ අලු‍ත් ආණ්ඩුවක්; අලු‍ත් පාලනයක්. අපේ අපේක්ෂාව ඒ ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බවට පත්කරගන්නයි. මේ ගමනේදී ප්‍රධාන අභියෝගයන් දෙකක් තිබෙනවා. එක බලය අත්පත් කර ගැනීම. දෙක කඩා වැටී තිබෙන අපේ රට ගොඩනැගීම.

බලය ලබාගැනීම සඳහා සත්භාවයෙන් කරනු ලබන කාර්යයම තමයි රට ගොඩනැගීම සඳහාත් උරදෙන්නේ. බලය ලබාගැනීම සඳහා තිබෙන්නේ සියලු‍ දෙනාම එකතු වීම. රට ගොඩනැගීම සඳහා තිබෙන්නේත් සියලු‍ දෙනාම එකතුවීම. අපි ඔබට ආරාධනා කරන්නේ බලය ලබාගැනීම සඳහා පමණක් නොවෙයි රට ගොඩනැගීම සඳහාත් දායකත්වය දෙන කණ්ඩායමක් ලෙස අපත් එක්ක එකතු වෙන්න කියලා.

ලංකාවේ පළමුවෙනි වතාවට ඡන්දයක් පිළිබඳව අවිනිශ්චිතතාවය ඇවිත් තිබෙනවා. ඒ අන්කවරක් වත් නිසා නොවෙයි; අපේ රටේ දූෂිත,විනාශකාරී, ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම සඳහා නිමිත්තක් ඇති වී තිබෙනවා. ඔවුන් ඒකට බයයි. රාජපක්ෂ කඳවුර අතින් රනිල් කඳවුර අතට බලය මාරුවෙනවා නම්, රනිල් කඳවුරෙන් රාජපක්ෂ කඳවුරට බලය මාරුවෙනවා නම් ඔවුන් කවදාවත් බිය වෙන්නේ නැහැ. ලංකාව වසර 76ක් පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ තන්ත්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඇවිත් තිබෙනවා. නමුත් ජනාධිපති ඡන්දයට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් නැහැ. ඔවුන් “ගෙදර ගියොත් අඹු නසී. මඟ සිටියොත් තෝ නසී” තත්වයට පත්වෙනවා. ඒකෙන් බේරෙන්න මහ ඡන්දෙ කලින් ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ ඡන්දය කලින් ගැනීමේ අභිමතය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතේ විතරයි. රනිල් වික්‍රමසිංහ තීරණය කළොත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියා විසුරුවා හැරිය හැකියි. අද විසුරුවොත් හෙට සිට රනිල්ගේ බලය ශූන්‍යයි. ඒ නිසා රනිල් අන්තිම මොහොත දක්වා ඉන්න නම්, ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්දයට යාමට තිබෙන ඉඩකඩ අඩුයි. දැනට දේශපාලනය ගොඩනැගී තිබෙන විදිහට සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර, ජනාධිපති ඡන්දෙ පැවැත්වෙනවා. බොහෝ දුරට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 ජනාධිපති ඡන්දය පැවැත්වෙනවා. ඒක වළක්වන්න කිසිසේත් හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහට සැප්තැම්බර් 28 දක්වා හෝ ඔක්තෝබර් 05 දක්වා ඉන්න පුළුවන්. ඔහු ජනාධිපති ඡන්දයක් තියන්න තීරණය කරන්නේ නැතිනම් ඊට කලින් යන්න පුළුවන්. අද අපේ ජනතාව මේ පීඩාව දරාගෙන ඉන්නේ මැතිවරණයකදී පාඩම් උගන්වන්නම්, ඡන්දෙදි අපි බලාගන්නම් කියන අරමුණෙන්. ඡන්දෙ තියන්නේ නැහැ කියලා මතයක් ආවොත් ජනතාව හෙට පාරට බහිනවා.

අපි පරාජය වුණොත් පසුවදා සිට දේශපාලනය කරනවා. අපි මේක අත්හරින්නේ නැහැ. වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානයෙන් වැඩ කරනවා. ඒගොල්ලන් පැරදුණොත්, එයාලට ගොඩක් දේවල් අහිමි වෙනවා. පෙළපත් පාලනය අහෝසි වෙනවා. ඔවුන් කවදාවත් නීතියට යටත් වුණේ නැහැ. නීතියට උඩින් හිටපු අය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ පනත්, මුදල් විශුද්ධිකරණ පනත්, පොදු දේපළ පනත් මොනතරම් තිබුණත් ඒ හැම නීතියකටම වඩා ඔවුන් හිටියේ උඩින්. ඔවුන්ට නීතියට යටත් වෙන්න සිදුවෙනවා. අයථා ලෙස එක්රැස් කරගෙන තිබෙන ධනය අහිමි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා එයාලගේ පැත්තෙන් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නවා. හිටපු ජනාධිපතිවරු චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී,

ගෝඨා, සහ රනිල් පස්දෙනාම වේදිකාවේ නගිනවා. දැනුත් වේදිකාවට නොනැග්ගත් අභ්‍යන්තර එකඟතාවයකින් වැඩකරනවා. මේ දූෂිත ප්‍රභූ තන්ත්‍රය තමන්ගේ අතින් පළමුවෙනි වතාවට බලය අහිමි වෙයි කියන තැතිගැන්මට ලක්වී ඉන්නවා. විශාල ගංවතුරකට අසුවුණාම නයයි, මුගටියයි ගහගෙන යනකොට එක කොටේකට නගිනවා. මේ නයි-මුගටි ඉදිරියේ එක වේදිකාවේ දකින්න හැකිවෙනවා. ඒ ගොල්ලන්ගේ පැත්තෙන් බලය ආරක්ෂා කරගැනීම සඳහා කළ හැකි සියල්ල කරන බව පැහැදිලියි.

advertistmentadvertistment
advertistmentadvertistment