අයිස් සමග කොටුවුණු නේවි ලොක්කන්ගේ කුඩු ජාලයේ තවත් ආරක්‍ෂක අංශ රොත්තක්

254

කල්ලියම අල්ලන්න නාකොටික් දැලක්

මත්ද්‍රව්‍ය තොගයක් සමග මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට තවත් ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධ වී සිටින බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ මුල්ලේරියාව පොලිසිය එම සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

රුපියල් ලක්‍ෂ 75ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග මුල්ලේරියාවේදී අත්අඩංගුවට පත්වූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන් බවද පොලිසිය පවසයි.

මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරක් මත ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී මෙම නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් ප්‍රවාහනය කරමින් සිටියදීය. මොවුන් ගමන් ගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබිණි.

නාවික හමුදා හැඳුනුම්පත පාවිච්චි කරමින් මොවුන් දීර්ඝ කාලයක සිට මේ ආකාරයට මත්ද්‍රව්‍ය තොග පිටින් ප්‍රවාහනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකාර නාවික හමුදා නිලධාරීන් දෙදෙනා වැල්ලවත්ත වෙරළ ආරක්‍ෂක ඒකකයට අනුයුක්ත දෙදෙනෙකි. මොවුන් දෙදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත මුල්ලේරියාව පොලිසියේ තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment