ප්‍රභූන්ටත් විපත් දෙමින් සෙනසුරු වක්‍රවේ

2288

ශනිට එක රාශියක් පසු කිරීමට අවුරුදු 2 1/2ක කාලයක් ගතවෙන අතර සෑම කාලයකම අවුරුද්දකට වතාවක් බැගින් වක්‍රවීම ශනි හෙවත් සෙනසුරුගේ ස්වභාවයයි. ශනි ආපසු හැරුණු තැන සිට අංශක 7ක් හෝ 8ක් ආපස්සට ගමන් කර නැවතී ඉදිරියට යාමට පටන් ගනියි.

මෙම වක්‍රවීමෙන් බොහෝ ලග්නවලට විපත්ද අනිත් ලග්නවලට ශුභදායක බවක්ද ගෙන දේ. නමුත් විශ්ව කේන්දරයේ ලග්නය කුම්බය. මෙම කේන්දරයේ ශනි මැයි මස පළවෙනිදා ලග්නගත වුවත් ජුනි 05 වැනිදා මෙම ශනි 12 වැන්නට එනම් මකරයට ගමන් කර වක්‍ර වෙයි. මෙය රටටත් එහි වාසය කරන මිනිසුන්ටත් විඳින්නට සිදුවන විපාක හා ශනි නියෝජනය කරන්නේ මොනවාද යන්න පිළිබඳවත් විමසා බලමු. බොහෝවිට ශනි පීඩිත පන්තිය, දුක්විඳින ජනයා, දුක නොදන්නා සැප විඳින ජනයාට වැඩි වශයෙන් සැප විඳින මිනිසුන්ගේ දහඩිය කඳුළු නොදන්නා මිනිසුන්ට දන්වන දුක කියාදෙන ග්‍රහයා ශනිය. එමෙන්ම ලේ වැගිරීම්, ශල්‍යකර්ම, දුක් විඳවිල්ල, ගින්න, සිරගෙවල්, භයානක අනතුරුවලට අත්වන්නේද මෙම ශනි නොහොත් සෙනසුරු ග්‍රහයාය. ජල ගැලීම්, උන්හිටි තැන් නැති කිරීම්, මිනිසුන්ව උසස් පුටුවලින් බිමට ඇද දමා දුක කියා දෙයි.

එනම් මෙම ශනි ජුනි මස 05 වැනිදා වක්‍රවේ. 2023 ජනවාරි 17 වන දිනෙන් කෙළින්ම වක්‍රයෙන් මිදී නැවත කුම්භ රාශි ගත වෙයි. ශනිගේ වක්‍ර වීමෙන් ශ්‍රී ලංකාවට විශාල ගැටලු බොහොමයකට මුහුණ දෙන්නට සිදුවේ. නොයෙක් අකාරයේ විපත්ති ඇති කරයි. විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට අගෞරව හිමිවෙයි. ලැබෙන්නට තිබෙන බොහෝ ආධාර නොලැබී යයි. එමෙන්ම බොහෝ රටවල් ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්වෙයි. එමෙන්ම රටේ ප්‍රධානියෙකුට ඉතාම අපලදායක බවක්ද ගෙනදේ. බොහෝ තනතුරුවල වෙනස් වීම්ද, පුටු මාරුවක් වූවාට මිනිසුන් එනම් පීඩිත පන්තියේ උපහාසයට අපහාසයට ප්‍රබලයන් පත්වේ. බොහෝ අවස්ථාවලදී එකිනෙකා අතර අසමගිය ඇතිවේ. එමෙන්ම ඉහත සඳහන් කළ අන්දමට ප්‍රබලයන්ට උසස් අයට හිරගෙවල්වල ලගින්නට සිදුවේ.

ප්‍රධානම ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබෙන සියලුම ආදායම් මාර්ග අවහිර වීමට පටන් ගැනීමත් දැනට පවතින විනිමය සොයන මාර්ග අවහිර වීමත් විශාල ව්‍යාපාර කඩා වැටීමත් එයින් යැපෙන අනිකුත් ව්‍යාපාර අඩපණ වීමත් මේ කාලයේ සිදුවෙයි. ගොවිතැන් කරන අයගේ ගොවිතැන් කටයුතු පාළු වෙයි. විශාල වශයෙන් ආහාර හිඟයක් රට පුරා ඇතිවෙයි. ඉදිරි කාලවලදී මිනිසුන්ගේ ගුණධර්ම පිරිහී යයි. එකිනෙකා අතර මතභේද ඇතිවී දුරදිග යන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවේ. නොතේරුම් කමින් වැරදි සිදුකර ගනියි. ජනයාව තැන් තැන්වල ඇවිද්දවයි. මිනිසුන් සිතන ආකාරයට එක වැඩක්වත් සිදුනොවේ.

දැන් ශනිගේ වක්‍රවීම ලග්න 12ට කෙසේදැයි බලමු

● මේෂ

මෙම ලග්න හිමියන්ගේ 10 වැන්නට ශනි වක්‍රවෙයි. මෙම වක්‍ර වීමේදී මෙය මුලින් තම රැකියා කටයුතුවලට පහරක් එල්ල කරන කාලයකි. එමෙන්ම අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයටද අධ්‍යාපනික කටයුතුවලට බාධා ගෙන දෙන කාලයකි. පෙර පැවැති උනන්දුව උත්සාහය නැතිවී යයි. ඔබේ දරුවා විදේශ ගත කරන්නට බලාපොරොත්තු වූවා නම් එයට බාධා ගෙනදේ. විදේශ ගමන්බිමන් ප්‍රමාද කරයි. මෙරට රැකියා කටයුතුවල නිරත වූ අයට බාධා ගෙනදෙන කටයුතු, සථාන මාරුවීම් සමාජයේ තමාට තිබූ පිළිගැනීම් නැතිවී යයි. මේ කාලයේ ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. නීතිමය කටයුතුවලට මැදිහත් වන්නට සිදුවේ. ගෘහ ජීවිතයේ හැලහැප්පීම් ඇතිවෙයි. මෙය දුරදිග යන තත්ත්වයට පවා ලක්වීමට ඉඩ තිබේ. තමා සතු දේ තමාට අහිමි වෙයි. මනුස්ස ගුණධර්ම හීනවෙයි. කුඩා දරුවන්ට අසනීපාදී කරදර ගෙන දෙයි.

● වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ ශනි 9 වැන්න වූ මකර රාශියේ වක්‍රවෙයි. ශනි 9ට යෝගකාරකයි. ස්ථාන වෙනස් වීමක් පෙන්නුම් කරයි. මෙය රැකියාවේ හෝ පදිංචි ස්ථානයේ හෝ වෙනත් ගමකට, විදේශ ගමනකට හෝ අඩුම වශයෙන් නිදාගන්නා තැන හෝ වෙනස් විය හැකි කාලයකි. මේ කාලයේ ධන ලාභ ලැබේ. නමුත් එය වහා විනාශවී යන තත්ත්වයකට පත්වේ. මේ කාලයේ අසනීප තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවේ. විශේෂයෙන් පපුව සම්බන්ධ අසනීප ශරීර ශක්තිය අඩුකමින් හැදෙන අසනීපවලින් පීඩා විඳින්නට සිදුවේ. දුක් ඇතිවේ. ළඟම කෙනෙකුගේ මාරකයක් නියමයි. මිල මුදල් පරිහරණය කරන අය මේ කාලයේ පරිස්සම් විය යුතුයි. හේතුව පාඩුද පරාජයද විඳින්නට සිදුවන බැවිනි. ආර්ථික ලාභ නොලැබේ.

● මිථුන

මිථුන ලග්න හිමියන්ගේ පුණ්‍යස්ථානයේ සිටි ශනි වක්‍රයෙන් මාරස්ථානයවූ 8 වැන්නට පැමිණේ. එවිට ඔබේ සිතට කිසිම සැනසීමක් නොදේ. සියලුම කටයුතු ව්‍යාකූලයි. දියුණුවට ගන්නා වූ සියලුම උත්සාහයන්ට බාධා ගෙන දේ. වගකීම් වැඩිවෙයි. වැඩ අධික වෙයි. නමුත් පිළිවෙළක් නැති වෙයි. ආශ්‍රය කරන්නන්ගෙන් ප්‍රවේශම් වන්න. පින් දහම් කරන්නට යුහුසුලු වන්න. මන්ද නින්දාවක් හෝ අසනීපයක් නිසා ඔබට පීඩා විඳින්නට සිදුවන බැවින් පුළුවන් තරම් පිං අතේ වැඩ කරන්න. අමනුෂ්‍ය බැල්ම පවා ඇති වීමට පුළුවනි. මළගිය අයගෙන් සමහර මිථුන ලග්න හිමියන්ට පීඩා විඳින්නට සිදුවේ. බොරු චෝදනාවන්ට ලක්වෙන්ට සිදුවේ. මේ කාලයේ ලොකු ලොකු දේ නොකරන්නට වග බලා ගන්න. තවද පුළුවන් තරම් ඇඟ බේරගෙන ජීවත් වෙන්නට ඉගෙන ගන්න. අධ්‍යාපනයේ නිරත දරුවන්ට බොහෝ බාධාවන්ට ලක්වීමට සිදුවෙයි. දරුවනි තනිව අධ්‍යයන කටයුතුවල නිරත වන්න.

● කටක

 කටක ලග්න හිමියන්ගේ 7 වැන්න හා 8 වැන්න ශනි නියෝජනය කරයි. ශනිගේ වක්‍රවීම 7 වැන්නට වෙයි. මෙහිදී විවාහ ජීවිතයේ සිටින අය විවාහ ජීවිතය කල්පනාවෙන් ගෙන යා යුතු අතර මංගල යෝග උදාවූ හෝ විවාහ ගිවිස ගැනීම් ස්ථිර වූ අය විමසිලිමත් විය යුතු කාලයකි. ආදර සම්බන්ධතා කැඩී බිඳී යා හැකියි. පොරොන්දු ගිවිසුම් වෙනස්වී යන කාලයකි. එකිනෙකා කෙරේ හරි අවබෝධයක් නැති කමින් බොහෝ කරදරවල පැටලෙන්නට සිදුවේ. එමෙන්ම මානසික පීඩාවන්ට ලක්වීමට ඉඩ තිබේ. පුළුවන් තරම් මේ කාලයේදී මනස ශක්තිමත් කරගත යුතුයි. ව්‍යාපාර කටයුතුවල නිරත වූ අයට හවුල්කරුවන්ගෙන් කරදර ඇතිවේ. එමෙන්ම ව්‍යාපාරවලින්ද යම් යම් පාඩුවීම් ගෙන දෙයි. සේවකයන් අමනාපවී යන තත්ත්වයන් උදාවෙයි. පුළුවන්තරම් පිං දහම්වල යෙදෙන්න.

● සිංහ

සිංහ ලග්න හිමියන්ගේ ශනි වක්‍ර වන්නේ 6 වැන්නටයි. 6 වැන්න රෝගස්ථානය සතුරු කරදර පෙන්වන තැන, වැටීම්, ණයවීම්, හවුල් ව්‍යාපාර, ප්‍රශ්න, ව්‍යාපාර කඩා වැටීම්, විවාහ ජීවිතය, පෙන්වන ස්ථානයයි 6 වැන්න. ඉතිං මේ කාලයේ උදරාබාධ ඇතිවේ. ශරීරයේ බර වැඩිවේ. තමා සෞඛ්‍ය පිළිබඳව වෙනදාට වැඩිය අවධානයක් ගත යුතුයි. ඔබට මේ කාලය ගෙවන්නට සිදුවන්නේ පීඩාකාරී පසුබිමක් මතයි. ගෘහ ජීවිතයේ අවුල් වියවුල් ඇතිවේ. දරුවන්ගේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවේ. ඉතිං මේ කාලයේ තම නුවණ භාවිතා කර කටයුතු කළහොත් යම්කිසි සහනයක් ළඟාකර ගත හැක. මේ කාලයේ තමාගේ සැප පහසුවට අවශ්‍ය බඩු මිලදී ගැනීමටත් හැකියාව පවතී. විදේශ ගමන්බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට බාධා මැද හෝ එම ගමනට අවශ්‍ය පහසුකම් සලසා ගත හැක.

● කන්‍යා

5 සහ 6 වැන්න අධිපති ශනිවෙයි. මෙම ශනි කන්‍යා ලග්න හිමියන්ගේ 5 වැන්නේ වක්‍රවෙයි. මෙම කාලයේදී තමන් බලාපොරොත්තුවෙන් සිටින අදහස් අනුන් සමග වූ පොරොන්දු ගිවිසුම් වෙනස් කිරීමටත් වෙනස් වීමටත් ඉඩ තිබේ. මෙය ඔබේ සිත බිඳී යන කාලයක් බැවින් පුළුවන් තරම් තම කටයුතු කෙරේ කල්පනාකාරී වන්න. සුළු දේ ලොකුවට පත්වීමෙන් අවුල් වියවුල් මතුවිය හැක. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව්වරු මේ කාලයේ පරිස්සම් විය යුතුමයි. දරුවන්ට අසනීප ලෙඩ රෝග, අර්ශස් රෝග සහ බාධාවන් ඇති කරයි. එමෙන්ම බඩේ අසනීප ඇති වීමටද ඉඩ ඇත. විවාහ වන වයසේ සිටින ගැහැනු දරුවන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න. විදේශ ගමන්බිමන් පෙන්නුම් කරයි. නමුත් ගෙදර දොර අවුල් වියවුල් මතුවෙයි. පවුලේ කෙනෙකුට මාරකයක් පෙන්නුම් කරයි. මේ කාලයේදී කන්‍යා ලග්න හිමියන් පරිස්සමින් ජීවත් විය යුතුයි.

 ● තුලා

4 වැන්න හා 5 වැන්න අධිපති ශනිවෙයි. මෙම ශනි තුලාවෙන් 4 වැන්න වූ මකරයේ වක්‍රවෙයි. මෙම ලග්න හිමියන්ට ජුනි, අගෝස්තු කාලවලදී ඉඩකඩම් මිලදී ගැනීමට හොඳම කාලයයි. එමෙන්ම දේපළ ලිවීම් දරුවන්ට දේපළ පැවරීමට හොඳම කාලයකි. හැබැයි මේ කාලයේ පවුලේ වැඩිහිටියෙකුට මාරකයක් නියමයි. එම නිසයි දේපළ පිළිබඳව ඇති ප්‍රශ්න විසඳා ගත යුත්තේ. එමෙන්ම දේපළ පිළිබඳව තණ්හාවක් ඇතිවන කාලයකි. සමහර උරුම කොටස් නැතිවී යයි. මේ කාලයේ වෙහෙස ඇති සතුටක් නැති ගමන්බිමන් යෙදේ. නව වෙනස්වීම් රාශියක් ඇතිවේ. ධනය මිල මුදල් ලාභ ලැබේ. නමුත් එය නැතිවී යන කාලයකි. විදේශ ගමන්බිමන් සඳහා උත්සාහ ගන්න. ආදායමේ කොටස් අඩුවේ. ව්‍යාපාර යම් මට්ටමක පවත්වාගෙන යා හැක. උනන්දුව උත්සාහය ඇති කරගෙන ඉදිරියට යන්න උත්සාහ ගන්න.

● වෘශ්චික

3 වැන්න හා 4 වැන්න අධිපති ශනි වෙයි. මෙයින් ශනි වක්‍ර වන්නේ 3 වැන්න වූ මකරයටයි. අන් අය මත විශ්වාසය තබා කිසිවක් නොකරන්න. එය ඔබේ ඉදිරි පැවැත්මට බාධාවක් වන බැවිනි. පුළුවන් තරම් සහෝදර සම්බන්ධකම් රැක ගැනීමටත් ඔවුන් සමග සුහදව කටයුතු කිරීමටත් වගබලා ගත යුතුයි. ධන ලාභ ලැබේ. සමාගම්වලින් හෝ අවට තම හිතවතුන්ගේ ආරාධනා ලැබේ. නම්බුව, ලාභ, සමාජ තත්ත්වය මේ සියල්ලම ළඟා කරගත හැක. හැබැයි සියල්ලම සිදුවන්නේ ඔබේ විශ්වාසය මතයි. මංගල යෝග උදාවෙයි. අවිවාහක අයට මෙන්ම විවාහක අයටද ආදර සම්බන්ධකම්වලට බැඳෙන්නට සිදුවේ. විවාහ ගිවිසුම් ස්ථිර වෙයි. මහලු අයගෙන් උදව් උපකාර ලැබේ. වාහන නිවාස මිලදී ගැනීමට ශුභයි.

● ධනු

ධනු ලග්න හිමියන්ගේ 2 වැන්න හා 3 වැන්න අධිපතියා ශනිවෙයි. මෙය ශනි 2 වැන්න වූ මකරයේ වක්‍රවෙයි. මේ කාලයේ හදිසි අනතුරු ඇති විය හැකි කාලයකි. සැප පහසුව නැති වෙයි. ධන හානිවලට ඉඩ තිබේ. ව්‍යාපාරවලින් ලාභ අඩුවී යයි. පෙර මෙන් උනන්දුව අඩුවී යයි. රැවටිලිවලට, වංචාවලට අසුවේ. තමාට සුදුසු නැති අය ආශ්‍රය කිරීමෙන් නින්දා අපහාස ඇතිකර ගනියි. මේ කාලයේ ප්‍රමාදවී තමයි සියලු දේ ලැබෙන්නේ. කාලයේ වෙනසක් සමගම ජීවිතයේ උසස් පහත්වීම් ඇතිවේ. කල්පනාකාරී වීමෙන් බොහෝ ගැටලු විසඳා ගත හැක.

● මකර

මකරයේ ශනි වක්‍රවීම ශුභදායක වුවත් සියලුම දේ ලබා ගැනීමට හැකියාව ඇතැයි කියා නොසිතන්න. හැබැයි කලක් තිස්සේ දීර්ඝව ඇදී ගිය ප්‍රශ්නයක් විසඳා ගැනීමට මග පෑදේ. රැකියා කටයුතුවල මෙන්ම ව්‍යාපාර කටයුතුවලද විසඳා ගත නොහැකි ප්‍රශ්න ගැටලු මතුවෙයි. නමුත් කල්පනාවෙන් ක්‍රියා කළහොත් එය නිරාකරණය කරගත හැක. විදේශ ගමන්බිමන් පෙන්නුම් කරයි. අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට මෙන්ම රැකියාවන් සඳහාද විදේශ ගත වීමට බලාපොරොත්තු වන අයට මේ කාලය බාධාවන් මැද වුවත් ඉටුකර ගැනීමට පුළුවනි. නඩු මගට මේ කාලයේ නොබසින්න. දේපළ පිළිබඳවද ගැටලු ඇතිවේ. විවාහ ජීවිතයට ඇතුළු වන්නට සිටින අය කල්පනාකාරී වන්න.

● කුම්භ

ඔබ පරිස්සම් විය යුතු කාලයකි. විශේෂයෙන්ම අසනීප හා ධන හානි ඇතිවිය හැක. හදිසි අනතුරුවලින් හා වැටීම් තුවාලවීම් වලින්ද පරිස්සම් විය යුතු කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා ගෙනදේ. පුළුවන් තරම් දරුවන් ගැන අවධානය යොමු කරන්න. දෙමාපිය වැඩිහිටියන්ටද අපලදායකයි. නිතරම කලකිරීම් ඇතිවිය හැක. මුදල් අඩුපාඩු නිසා පීඩාවන්ට මුහුණ දෙන්නට සිදුවෙයි. ස්ථාන වෙනස් වීමක් පෙන්නුම් කරයි. නිවාස වෙනස්වීමක්, නිවාස මාරුවක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම කිව යුත්තේ හදිසියේ සිදුවන සියලුම දෙයින් ඔබ පරිස්සම් වන්න.

● මීන

මීන ලග්න හිමි ඔබේ කේන්දරයේ ශනි වක්‍ර වන්නේ 11 වැන්න සහ 12 අධිපති එනම් අය හා වැය පෙන්වන ස්ථාන දෙකයි. මීන ලග්න හිමියනි ඔබට පෙරට වඩා වියදම් පක්‍ෂය ඉදිරියට යයි. පුළුවන් තරම් කල්පනාවෙන් මුදල් වියදම් කරන්නට උත්සාහ ගන්න. හැබැයි මේ කාලයේ විශේෂයෙන් දියුණුවකට මග පෑදේ. පවුලට පිරිස වැඩිවෙයි. විදේශ ගමන්බිමන් ඇතිවේ. නිසියාකාරයෙන් කර ගැනීමට හැකි සියලුම දේ හොඳ අයුරින් කර ගන්නට උත්සාහ ගන්න. මහලු අයගෙන් විශේෂ උදව් උපකාර ලැබේ. අය සහ වැය නිසා ඔබ කල්පනාකාරී විය යතුයි.

ප්‍රභූන්ටත් විපත් දෙමින් සෙනසුරු වක්‍රවේ

නාඩි ජ්‍යොතිෂවේදී,  – වාස්තු විද්‍යා උපදේශිකා
 ඉවෝන් දිසානායක
 ඉටුමිණ ජ්‍යොතිෂ ආයතනය
 (මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
 රම්මුතුගල- කඩවත.
 දු. අංකය: 0715 723 434, 0777 343 437

advertistmentadvertistment
advertistmentadvertistment