අපේක්‍ෂා රෝහලට වාර්තාවන රෝගීන් ගැන අධ්‍යක්‍ෂ කරුණු පහදයි

813

දිනකට නේවාසිකව දහසක් හා දෙදහසක් සායන ප්‍රතිකාර ගන්නවා – වෛද්‍ය අරුණ ජයසේකර

මහරගම අපේක්‍ෂා රෝහලට දෛනිකව බාහිර සහ සායන ප්‍රතිකාර සඳහා 2000 ක පමණ පිරිසක් පැමිණෙන බවත් 1000 ක පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.

ලෝකය පුරා මෙන්ම අප රටේද පිළිකා රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දිවයිනේ රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර ඒකක පවතින නිසා මහරගම අපේක්‍ෂා රෝහලට රෝගීන් පැමිණීමේ යම් අඩුවක් පවතින බවත් ඒ මහතා කීය.

දෛනිකව පිළිකා රෝගීන් 1000 ක් වාර්තාවන බවට පසුගියදා දිවයින පුවත්පතේ තමා විසින් ප්‍රකාශ කළ බව සඳහන්ව තිබුණත් එය දෛනිකව රෝගීන් වාර්තාවීම නොව දෛනිකව නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දහසක් ලෙස නිවැරදි විය යුතු බවත් ඒ මහතා පැවසීය.

පිළිකා රෝගීන් වාර්තාවන රටවල් අතරින් ශ්‍රී ලංකාවේ රෝගය සුවවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවත් පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගැනීමෙන් පසු එය සුවකළ හැකි බවත් පැවසූ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ළමා පිළිකා රෝගීන් සුවවීමේ ප්‍රතිශතය සියයට 75 ත් 80 ත් අතර පවතින බවත් කියා සිටියේය.

පිළිකාවක් බවට හඳුනාගත් මුල් අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් එය සුවකරගත හැකි බවත් රෝගය හඳුනා ගැනීම ප්‍රමාදවීම, හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ප්‍රමාදවීම වැනි කරුණු නිසා රෝගීන් අපහසුතාවට පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment