කිත්තම්පහුවේත් – පාතාල වෙඩි පත්තු වෙයි

424

ත්‍රිරෝද රියක යමින් සිටි රෙදි ව්‍යාපාරිකයාට පන්න පන්නා වෙඩි තබා මරා දමති

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයට ඊයේ (28) මහදවල් කඩාවැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි 47 හැවිරිදි මුස්ලිම් ජාතිකයකුට පන්න පන්නා වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් තාමිස් මොහොමඩ් සහජාන් නමැති රෙදි ව්‍යාපාරිකයෙකි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඊයේ දහවල් 12.45 ට පමණ ඝාතනයට ලක්වූ පුද්ගලයා ත්‍රිරෝද රථයක නැගී වැල්ලම්පිටිය කිත්තම්පහුව පන්සල අසලින් යමින් සිටියදී ඒ පසුපස පන්නාගෙන ආ සන්නද්ධ පාතාල සාමාජිකයන් ඔහුට වෙඩි තබා තිබේ.

පිස්තෝලයක් යොදාගෙන සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ හෙතෙම සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇත.

ප්‍රදේශයේ සවිකර ඇති සී සී ටී වී කැමරා දර්ශන උපයෝගී කරගෙන ඝාතකයන් හදුනාගැනීමට වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඉකුත් 25 වැනිදා පෙරවරුවේදී තලංගම ප්‍රදේශයේ මහමග ගමන් ගත් තරුණයකු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතන එකම කණ්ඩායමක් විසින් සිදු කරන්නේ ද යන්න පොලිසිය සැක පහළ කරයි.
හේමන්ත රන්දුණු, මහරගම – එස්.ඩී. අබේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment