මන්නා රමේෂ්ට රතු වරෙන්තු

880

අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනී මැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරතවෙමින් සිටින මන්නා රමේෂ් නමැති පාතාල නායකයාට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙත්තු ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පොලිසිය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත.

පොලිසිය පවසන්නේ මේ වනවිට මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම අපරාධවල නිරතවන බවයි.

මන්නා රමේෂ් මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ සියලු තොරතුරු සහ සාක්‍ෂි පොලිසිය විසින් ලබාගෙන ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලිසිය වෙත යැවීමට කටයුතු කරමින් සිටියි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී මන්නා රමේෂ්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගෙන මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට කියා සිටියේය.

අවිස්සාවේල්ල තල්දුව නගරයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීම මන්නා රමේෂ්ගේ නියෝග මත සිදුකර තිබූ බව මේ වනවිට හෙළිවී ඇත.

මේ අතර අවිස්සාවේල්ල රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ලකරමින් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම මන්නා රමේෂ් විසින් ජයටම කරගෙන ගොස් ඇති බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.

මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයා වූ තල්දුවේ මහේෂ් නමැත්තා පොලිස් වෙඩි පහරින් මියයෑමෙන් පසු ඔහු එම මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සියලු දෙනාට මරණ තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි.

අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ ජංගම දුරකථනයට කතාකර ඔහු සහ පුත්‍රයා මරාදමන බවට තර්ජනය කර තිබිණි.

පොලිස් වෙඩි පහරින් මන්නා රමේෂ්ගේ සමීපතමයා වන තල්දුවේ මහේෂ් මරුමුවට පත්වීමෙන් පසු ඔහුගේ මෘතදේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (18 දා) සිදු කෙරිණි.

ඒ අවස්ථාවේ තල්දුව, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව මහේෂ්ගේ මරණයෙන් පසු තමන්ට නිදහස ලැබුණු බව කියමින් පැය දෙකක් තිස්සේ රතිඤ්ඤා පත්තුකරමින් ප්‍රීති වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment