ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගනිති

240

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඊයේ (19දා) පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගත්හ.

ඒ අනුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසද මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප පිරිසද අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසද විපක්‍ෂයේ තුන්වැනි පේළියේ මැදපෙළ අසුන්වල අසුන් ගත්හ. ඊයේ පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර එම මන්ත්‍රීවරු විපක්‍ෂයේ අසුන් වෙත පැමිණ සිය ආසන පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ පසුව විපක්‍ෂය දෙසින්ම පැමිණ ඒවායේ අසුන් ගත්හ.

ඔවුන් විපක්‍ෂයේ අසුන් ගන්නා අවස්ථාවේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අත්පොළසන් දී පිළිගත් අතර පසුව විමල් වීරවංශ මහතා අදහස් දැක්වීමට යෑමේදී විරෝධය පළ කළහ. උදය ගම්මන්පිල මහතා එම තත්ත්වය සමනය කිරීමට සජබ මන්ත්‍රීන් අතරට ගියද තුෂාර ඉඳුනිල් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ඔහුටද දොස් නගන අයුරු දක්නට ලැබිණි.

විපක්‍ෂයේ අසුන්ගත් විමල් වීරවංශ මහතා තමා ඇතුළු පිරිස විපක්‍ෂයට පැමිණියද කිසිවකුගේ ඔඩොක්කුවට හෝ සාක්කුවට වැටෙන්නේ නැති බව පැවසීය. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා කතාකරමින් කියා සිටියේ මන්ත්‍රීවරුන් 40ක් විපක්‍ෂය තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment