සාකච්ඡා අසාර්ථකයි සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට දිගට ම වර්ජනයේ

87

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව (ඩැට්) තමනට ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (13 දා) උදෑසන 6.30 සිට රට පුරා රෝහල්වලදී යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටුකර දීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශය සමග ඊයේ (12 දා) පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම නිසා යළි වර්ජන ක්‍රියාමාර්ගයට පිවිසීමට තීරණය කළ බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ‘දිවයින’ට පැවසීය. සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම වැඩවර්ජනයට සහාය දක්වන බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර පසුගිය 06 දා පැවැති සාකච්ඡාවෙන් පසු එතෙක් කරගෙන ආ වෘත්තීය ක්‍රියා මාර්ග තාවකාලිකව අත්හිටුවීම සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළේය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කළ කමිටුව සමග සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන නායකයන් ඊයේ පැවැත්වූ සාකච්ඡා මුළුමනින්ම අසාර්ථක වූ නිසා යළි වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කළ බව එම සන්ධානයේ දෙවැනි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

වර්ජන කාල සීමාවේ ළමා, පිළිකා, මාතෘ, මානසික රෝහල් ආදියේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන අතර සිය ගැටලු විසඳීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවුණොත් රෝගී ජනතාව තවදුරටත් අපහසුතාවට ලක්විය හැකි බවත් එම සන්ධානය වැඩිදුරටත් පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment