වාරිමාර්ගයේ වාහන 880ක් අතුරුදන්

117

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක් දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණි.

එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමේන්තුවට අයත් හා පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 1124ක් බව විගණනය මගින් අනාවරණය කර ඇත. දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇද්ද පිළිබඳ පරීක්ෂා කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ දෙපාර්තමේන්තුව යටතේ සඳහන් කර ඇති වාහන 2004න් 1124ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කොට ඇති බවය. ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව තුළ නොමැති බව ද ඒවා තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුවේ නොමැති බව ද ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත.

අපහරණ ක්‍රියාවලිය තුළින් ටෙන්ඩර් මගින් අපහරණයට යොමුකර බාහිර පුද්ගලයින්ට ලබාදී ඇති නමුත් ලියාපදිංචිය පවරාගෙන නොමැති වාහන, ටෙන්ඩර් මගින් අබලි වාහන ලෙස ලියාපදිංචිය අවලංගු කිරීමට යොමු කරමින් යකඩ ලෙස ලබාදී ඇති වාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති වාහන ලෙස ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

ක්ෂේත්‍ර නිලධාරීන්ට විවිධ ව්‍යාපෘති මගින් ලබාදි ඇති නමුත් ව්‍යාපෘතිය අවසානයේ එම නිලධාරින් විසින් අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොමැති වාහන, වෙනත් දෙපාර්තමේන්තුවලට විවිධ ව්‍යාපෘති යටතේ ලබාදී ඇති නමුත් ව්‍යාපෘතිය අවසානයේ එම දෙපාර්තමේන්තු විසින් පවරා නොගත් වාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති වාහන ලෙස ගණන්දීමේ නිලධාරියා විසින් සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment