රතු මුහුදේ හූති අවුලෙන් රතිඤ්ඤා ගොළු වෙයි

150

රතු මුහුදේ හූති ත්‍රස්ත සංවිධානය මගින් ඇතිකර ඇති ගැටුම්කාරී අර්බුද තත්ත්වය නිසා, ආසියාවේ වෙළෙඳ කටයුතුවලට ඇතිවී ඇති බලපෑම් නිසාවෙන් රතිඤ්ඤා කර්මාන්තය සඳහා අවශ්‍යයම රසායනික ද්‍රව්‍ය හිඟයෙන් සිය කර්මාන්තයට මහත් අභියෝගයක් පවතින බැව් සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා පැවසීය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් මෙරට බලපත්‍ර හිමි ගිනිකෙළි කර්මාන්තකරුවන්ට ලබාදෙන පොටෑසියම් නයිට්‍රේට් ප්‍රමාණය සීමාකර ඇතැයිද, පසුගිය දෙසැම්බරයේ නත්තල් සමයේ රටේ පැවැති අයහපත් ආර්ථික තත්ත්වය මත ගිනිකෙළි අලෙවිය ඉතාම පහළ මට්ටමකට වැටුණු බැව්ද හෙතෙම සඳහන් කළේය.

මෙරට ගිනිකෙළි කර්මාන්තයේ යෙදී සිටින පිරිස අතුරින් 90% කට වැඩි පිරිසක් සිය කර්මාන්තය පවත්වාගෙන යන්නේ කිඹුලාපිටිය ප්‍රදේශය කේන්ද්‍රකොට වන අතර ගාල්ල, මහනුවර හා පුත්තලම යන දිස්ත්‍රික්කවලද සුළු ප්‍රතිශතයක පිරිසක් ගිනිකෙළි කර්මාන්තය පවත්වාගෙන යති. සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ බලපත්‍රලාභීන් 215 ක පමණ පිරිසක් සාමාජිකත්වය දරන බැව්ද දිනේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එළැඹෙන බක්මහ උත්සවය නිමිත්තෙන් මේ වන විටත් කර්මාන්තකරුවන් ගිනිකෙළි නිෂ්පාදන කටයුතු අරඹා ඇත.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment