ජයග්‍රාහි රැල්ල ඉදිරියට පවත්වාගෙන ගියොත් ලෝක කුසලානයේදීත් ලොකු දෙයක් කරන්න පුළුවන්

248

ක්‍රීඩකයන් අතින් වරදක් වුවත් මා අසතුටු වන්නේ නෑ…..
කණ්ඩායමට තියෙන මේ ආකර්ශනයට කැමතියි
– ක්‍රිකට් නායක දසුන ශානක

ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් ලබාගත් ජයග්‍රාහී රැල්ල එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇති බවත් ඔස්ටේ්‍රලියාවේ පවතින තත්ත්වයන් හඳුනාගෙන හොඳින් ක්‍රීඩා කළ හොත් එම තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කළ හැකි බවට තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන ශානක පැවසීය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති පළමු මාධ්‍ය හමුව ලෙස ඊයේ (15 වෙනිදා) පැවැති එම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ. පසුගිය වසර එකහමාරක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව තරගාවලි හතරක් පහක් පමණ ජයග්‍රහනය කර ඇති බවත් තරුණයන්ගෙන් සැදුම්ලත් තම කණ්ඩායමේ තරග ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ඇති බවට තමාට සහතික විය හැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සඳහන් කළේය.

කණ්ඩායමට අවශ්‍ය දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නොඅඩුව ලැබෙන බවත් එමෙන්ම ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයත්, මාධ්‍යයෙන් ලැබෙන සහයෝගයත් ආදී සියල්ල එකතු වූ කල කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම පහසු කාරණයක් බවත් ශ්‍රී ලංකා නායකයා පැවසුවේය.

ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයන් මානසිකව සහ කායිකව ශක්තිමත්ව සිටින බවත් එම තණතීරුවලට අනුව පිතිකරණයේ හැඩගැසීම සහ පන්දු යැවීමේ කුසලතාවය ප්‍රගුණ කර ගත හොත් ශ්‍රී ලංකාවට එය ඉතා වාසිදායක වනු ඇති බව ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය.

නායකයා ලෙස තමන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උපරිම විශ්වාසය ලබාදී ඇති බවත් ඔවුන් අතින් වරදක් සිදුවූවා කියා තමා කිසි මොහොතක අසතුටු වන නායකයකු නොවන බවත් ඒ හරහා ඔවුන්ට තමන්ගෙ හැකියාවන් පිළිබඳව විශ්වාසය පසුගිය තරගවල ජයග්‍රාහී සාධකය වූ බවත් ශ්‍රී ලංකා නායකයා පැවසීය.

එක තරගයක් දෙකක් පරාජය වූ පමණින් අපේ ක්‍රිකට් පහළට ගියා යැයි නොසිතන ලෙසත් ක්‍රිකට් යනු ස්වභාවයෙන්ම ජය පරාජය මොහොතින් මොහොත වෙනස්වන ක්‍රීඩාවක් බවත් අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය කිසිවිටෙකත් බිඳෙන්නට ඉඩ නොදෙන බව ද ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය.

කණ්ඩායමේ සිටින වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාසය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇති බවත් කණ්ඩායම කෙරෙහි ඇති මෙම ආකර්ශනයට නායකයෙකු ලෙස තමා ප්‍රිය කරන බවත් දසුන් ශානක සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment