ගුරු ගීතය අදට යෙදෙන ගුරු දිනය නිමිත්තෙනි

565

ගුරුවරයාගේ කාර්යය වූයේ අධ්‍යාපනය ලබාදීමයි. බ්‍රාහ්මණ යුගයේ දිසාපාමොක් ආචාර්යවරයා වශයෙන් ප්‍රසිද්ධියට පත්වූයේ දිසාවට අධිපති ගුරුවරයා නිසාවෙනි. කහවනු දහසින් බැඳී පසුම්බි රැගෙන ගුරු ගෙදරට ගොස් ශිල්ප හැදෑරීම එකල පැවැති ක්‍රමවේදයයි. මේ ගුරු සේවය පිළිබඳව බුදුදහමේ දැක්වෙන සූත්‍ර හරහා දැනුමක් ලබාගත හැකිය. අංගුලිමාල කථාව, මනමේ කථාව, ඡත්ත මනවක කථාව, උම්මග්ග ජාතිකය, තලමුට්ටි ජාතකය ආදී පුවත් දෙස බලන කල ඉගෙන ගැනීමට ශිෂ්‍යයන් යොමුකළ ආකාරය දඬුවම් දුන් ආකාරය ඒ වගේම කළ සේවාවන් පිළිබඳව ද අපට දැකගත හැකිය.

බුදුන් වහන්සේද ගුරුවරයෙකි. තිලෝගුරු නමින්ද හැඳින්වේ. ශාස්තෘ යන්නෙන් අදහස් වන්නේද ගුරුවරයා යනුයි. ඒ නිසා වර්තමානයේ ගුරුවරයා කොයිබට ද යන ප්‍රශ්නය මතු වේ. ශිෂ්‍යා සුමගට හෝ නොමගට හෝ යැවීමේ ශක්තිය ගුරුවරුන් තුළ පවතී. වර්තමානයේ වුවද එම තත්ත්වයන් නොපවතින්නේ නොවේ. සමාජයේ පෙරටුගාමී බලවේගයක් වූ ගුරුකම මෙවැනි තත්ත්වයකට වැටීමකට හේතු සාධක වූ වැඩවසම් සමාජයේ ගුරු කාර්ය භාරය බොහෝදුරට පැවතියේ භික්‍ෂූන් වහන්සේලා අතය. ආරාමවල, පිරිවෙන් වල ශාස්ත්‍රය, ආගම ධර්මය පිළිබඳව අධ්‍යාපනයක් ලබාදුන් අධිරාජ්‍යවාදී සමයේ පල්ලිය ප්‍රධාන කොට අධ්‍යාපන ක්‍රියාමාර්ගය මෙහෙයවීය. ධර්මය පිළිබඳ වාද විවාද පැවැති කාලයේ එම වාද විවාද කියවීමට අවස්ථාව ලද ඇමෙරිකන් ජාතික ඕල්කට් තුමා, මියුසියස් හිගින්ස් මැතිනිය වැනි විදේශීය විද්වතුන් නිසා ලංකාවට බෞද්ධ පාසල් ලැබුණි. කොළඹ ආනන්ද, නාලන්ද, මියුසියස් විද්‍යාලය වැනි පාසල් බිහිවූයේ ඒ මගිනි. පාඨශාලා ක්‍රමවේදය බිහිවීමත් සමඟම අධ්‍යාපනය මුලුමනින්ම පාහේ ගුරුවරයා සතුවිය. එහෙත් ගුරුකම පිළිබඳ තිබූ අභිමානවත් ගරුත්වය රැකගනිමින් අධ්‍යයන කටයුත්තේ නිරතවූ ඒ උතුමන්ගේ සුලමුල සෙවීමේදී අපට පැහැදිලි කරගත හැකිය. සිංහලකම, බෞද්ධකම, දේශාභිමානය ආදිය රැකගනිමින් අධ්‍යාපන ක්‍රියාවලියේ නිරතවූ බව අපට දැකගත හැකිය. අදත් එම විද්‍යාල මුල් පරිසරය රැකගනිමින් පවතින බව ඉතා ගෞරවයෙන් සටහන් කළ යුතුය.

මේ ආකාරයෙන් ආ ගුරුකම වර්තමානයේ අගෞරවයට පත්වීමට හේතුව කුමක්ද? මගේ ජීවිත කාලයේ පරම්පරා 03 ක් පමණ පසු කර ඇත. මගේ ගුරුවරු පිළිඳව අත්දැකුම්ද ඇත. මගේ අධ්‍යාපනයේ ආරම්භයත් අවසානයත් බෞද්ධ විද්‍යාලවලය. ඒ ගුරුදේවයන්ගේ ආකල්ප, සංකල්ප අපේ ජීවිතයට කොතරම් බලපෑවේයි අදත් අපට සිහිපත් කරන්නට මතක සටහන් නිරුපද්‍රිතව ඇත. අධ්‍යාපන ක්‍රියාවලිය පමණක් නොව, අධ්‍යාත්මික සැකැස්මද අපට ලබාදුන්හ. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර, සිංහල භාෂාව සහ සාහිත්‍ය කළ ගුරු පියතුමා අපට ප්‍රකාශ කර සිටියේ ‘හොද අධයාපනයක් ලබාගන්න. එහෙත් ගුරු වෘත්තියට නම් එන්න එපා’ය කියාය. අද ගුරුවරයා සමාජය විසින් එතරම් දුරට පිළිගන්නේවත් රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගිය විටදීත් උසස් නිලධාරීන්ගේ වහසි බස්වලට යටත්වීමටත් සිදු වේ. එමෙන්ම වැටුපද අල්ප මට්ටමක පැවතුණ බවත්ය.

සිංහල ගුරුවරයාගේ ජාතික ඇඳුමටද දැක්වූයේ කුඩම්මාගේ සැළකිල්ලය. මේ ආදී කරුණු කාරණා හේතුවෙන් ගුරුවරයා මානසිකව ඇදවැටීම නවතාලිය නොහැක. එසේ වුවත් ඒ ගුරු පියවරුන්ට මව්වරුන්ට අප ප්‍රශංසා කළ යුත්තේ තම ගුරු කාර්යය මොනතරම් අඩුපාඩු තිබුණත් බාධා තිබුණත් නොපිරිහෙළා ඉටුකිරීම නිසාවෙනි. සමාජයේ මේ පෙරටුබලඇණිය, අද ඇද වැටී ඇත්තේ කෙබඳු තැනකටද? මේ ලියන මමද ගුරු වෘත්තියේ නියළුණු කෙනෙකු වශයෙන් මගේ මුලු ජීවිත කාලයම, එනම් ශිෂ්‍ය ජීවිතයේ සිටම සමාජය සමඟ මුසුවෙමින් පැවතිනි. ගුරු වෘත්තිය ලැබීමෙන් පසු එය ගුරු සේවාවක් බවට පත්කර ගැනීමට ගුරු ජීවිතයට ප්‍රවිෂ්ට වීමට පෙර ලත් අත්දැකීම් සම්භාරය මහෝපකාරී විය. ගුරු සේවයත්, මහජන සේවයත් හරියට දකුණත හා වමත මෙන් පවත්වා ගැනීමට හැකිවිය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු කවර ආකාරයට සැලකීම, පඩි නඩි හෝ මට අදාළ නොවීය. නමුත් ගුරු වෘත්තියට පැමිණියේ අහම්බෙනි. අර ගුරු පියවරුන්ගේ ආකල්ප සංකල්ප නිසා ගුරු වෘත්තිය එපා වී තිබිණි. මගේ අපේක්‍ෂාවන් බිඳ වැටීම තවත් බාධකයක් නිසා ගුරු වෘත්තියට සම්බන්ධ විය. සමාජයේ පිළිගැනීම හෝ ගුරු සේවය සැබෑ මිනිසකුට ලැබිය හැකි ඉහළම තානාන්තරය බව මගේ හැඟීමයි. වෙනත් රැකියා කිහිපයකට අවස්ථාව සැලසී තිබුණත් මම ගුරු සේවයෙන් ඉවත්වීමට කිසිසේත් අපේක්‍ෂා නොකළෙමි.

සමහර මගේ මිතුරෝ ගුරු සේවයෙන් ඉවත්වී වෙනත් රැකියා වලට යද්දී එසේ නොකරන සේ ආයාචනා කළමුත් ඔවුන් එය පිළිගත්තේ නැත. ලිපිකාර ග්‍රාමසේවක වැනි රැකියාවන්ද ඔවුන් තෝරාගත්හ. විශ්වවිද්‍යාල වල සිට පැමිණි උගතුන් ගුරු සේවයට පැමිණියේ වෙනත් උසස් යයි කියා ගන්නා රැකියාවකට යාමට සනිටුහන් කරගෙනය. ගුරු වෘත්තිය හරියට බොහෝ උගතුන්ගේ නවාතැන් පළක් බවට පත්වී තිබුණි. මෙයට මේ උගතුන් එසේ කරන්නේ ඇයි දැයි කලින්ද සටහන් කර ඇත. එමගින්ද පැහැදිලි වන්නේ ගුරුතුමාට එදා සමාජයේද පැවැති ආකල්පයයි.

‘හකුරු කන්නත් ගුරෙක් ඕනා’ යයි කියමනක් ඇත. එයින් ධ්වනිත වන්නේ සෑම කාර්යයකදීම ගුරුවරයා අනිවාර්යය සාධකයක් බවයි. එහෙත් ඔහුට හිමිතැන කොතනද? එම හිමිතැන ඔහුට ලබානොදීම සමාජ ප්‍රගතියේ ඌණතාවයේ ප්‍රධාන සාධකයකි.

ගුරු වෘත්තියට බොහෝ දෙනා නොපැමිණීමට ප්‍රධානම සාධකය වැටුප බව අවබෝධ කරගත් එක් විදුහල්පතිවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන ඇමති ධුරය ලබා ගැනීමට හැකි විය. ගුරුවරුන්ගේ හඬට කන්දුන් රිචඩ් පතිරණ නම් වූ එවක අධ්‍යාපන ඇමතිතුමා ගුරු වැටුප් ඉහළ මට්ටමකට ගෙනවිත් තැබීය. මේ ගුරු වැටුප ඉහළ නැංවීම පිළිබඳ අන්‍ය රජයේ සේවකයන් තමන්ට ද වැටුප් තලය ඉහළට නැංවීම සඳහා උද්ඝෝෂණය කළහ.

මේ තත්ත්වය තුළ ජනාධිපතිනියට මහත් මානසික පීඩාවක් ඇතිවිය. වරක් ඇය ප්‍රකාශ කළේ රිචඩ් පතිරණ මාව අමාරුවේ දැම්මා කියාය. ගුරුවරුන්ගේ ගුරු සේවයට හිමි වැටුප ඉහළට තැබීම පිළිබඳව අනෙක් වෘත්තිකයන්ගේ ක්‍රියා කලාපය කොයිතරම් සාධාරණද? සේවය වශයෙන් අංක එකේ සේවාව වශයෙන් සැලකූ ගුරු සේවයට ගුරු සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කන් කෙඳිරිගෑම කොයිතරම් අගය කළ යුත්තක්ද? කෙසේ වුවත් රිචඩ් පතිරණ නම් වූ ඒ වීර පුරුෂයාට ගුරු සංහතියේ ගෞරවාදරය හිමිවිය යුතුය.

චිංගීත් ආයිත්මාතව්ගේ ගුරු ගීතය නම් රුසියන් නව කථාවේ එන ගුරුවරයා වන දුයිෂෙන් නම් කතා නායකයා කොපමණ තාඩන පීඩන වලට පත්වූයේ දැයි සලකා බලන විට තමාගේ අරමුණ මොන බාධක මධ්‍යයේ වුවත් අත නොහැරම ඉදිරියට යමින් සාර්ථක කරගන්නා ආකාරය ගුරු සේවයේ සැබෑ තත්ත්වයට කදිම උදාහරණයකි. එනම් ගුරුවරයා මෙන බාධක මධ්‍යයේ වුවත් සේවය අත නොහැරම කිරීමේ වගකීම දරාගත යුතු බවයි. ගුරුවරයකුට අත්විය හැකි බාධක සියල්ලම මේ ලියන මට ද විඳින්නට සිදුවිය. එහෙත් ඒ සියල්ලම දරාගනිමින් කම්පා නොවී මගේ වෘත්තිය සේවය හැකි පමණ ඉහළින් ඉෂ්ට සිද්ධ කිරීමට වගබලා ගතිමි. ස්ථාන මාරුවීම්, උසස්වීම් කපාහැරීම් සියල්ලටම මුහුණ දීමට සිදුවිය. එහෙත් එය මගේ ගුරු සේවයට බාධාවක් කරගත්තේ නැත. ඕනෑම දේකට ඔරොත්තු දීමේ ශක්තියක් උදාකර ගැනීමට හැකි විය. ඒ නිසා මොන බාධක ආවත් සැබෑ ගුරුවරයා සැලෙන්නේ නැත. කම්පාවන්නේ නැත. උදාර සේවයට අවමන් කරන්නේද නැත.

ගුරුවරයාට ජීවත්වීමට, දරුවනුත් රක්ෂා කිරීමට ආගමික හා සමාජීයය කටයුතු වලට, නැදෑ හිතමිත්‍රකම් පැවැත්වීමට සිදු වේ. වෙනත් සාමාජිකයෙකුට වඩා ප්‍රබල ආකාරයෙන් ඉටු කිරීමට සිදු වේ. ඒ සඳහා ආර්ථික තත්ත්වයක් තිබිය යුතු බවද නොරහසකි. උපකාර පන්ති හරහා එම ආර්ථික ගැටලුව විසදාගැනීමට බොහෝ අය වෑයම් කරති. මේ උපකාරක පන්ති ක්‍රමය බිහිවූයේ ගුරුවරුන් සී සී කඩ විසුරුවාහැරීමේ ප්‍රතිඵලය හරහාය. ශිෂ්‍යයන්ට ගුරුවරු ලැබිණි. නමුත් තමන් හදාරණ විෂයයට අදාළ ගුරුවරුන් නොලැබිණි. මේ තත්ත්වය පසුව තේරුම්ගත් ආණ්ඩුව උපකාරක පන්ති හරහා මේ ගැටලුව විසඳීමට මං පෑදූ බව නොරහසකි.

උසස් විභාගවල ප්‍රතිඵල නිකුත් වූ පසු මුද්‍රිත මාධ්‍ය, විද්්‍යුත් මාධ්‍ය හරහා දැක්වෙන ප්‍රචාරණ වලින් හදුන්වන්නේ උපකාරක පන්ති හරහා ළමුන් විභාග සමත්වූ බවයි. සැතපුම් 50, 60 ප්‍රමාණයන් පවා උපකාරක පන්ති සොයාගෙන යයි. කාලයත්, ධනයත් විනාශ කරගනිමින් මෙම ක්‍රමවේදය ගුරු සේවය ඛේදවාචකයට ඇදදැමීමට හේතු සාධක වූ බව පෙනේ. අ.පො.ස. සා.පෙළ, උසස් පෙළ ආදී විභාගයෙන් ප්‍රතිඵල ලේඛන දෙස බලන විට සෑහීමකට පත්විය හැකිද? 40% ක් තරම් ප්‍රමාණයත් තමයි සමත්වී ඇත්තේ. දහස් ගණන් එකදු විෂයයක්වත් පාස්නොවූ අය වෙති. මේ තත්ත්වය විමසා බලන කල ගුරුවරුන්ට තම සේවා කටයුත්ත ගැන සෑහීමකට පත්විය හැකි නොවේ.

ඇමරිකාවේ උගතෙකු, මනෝ විද්‍යාඥයකු වන ජේම්ස් විලියම් ප්‍රකාශ කරන හැටියට එකදු ශිෂ්‍යයෙක්වත් අසමත් විය නොහැකිය. ඉගෙනීමට බැරිය කියන ශිෂ්‍යයෙක් වත් අසමත් විය නොහැකිය. ඉගෙනීමට බැරිය කියන ශිෂ්‍යයන් තමා ළඟට එවන්නට යයි ඔහු අභියෝග කරයි. අධ්‍යාපන මනෝ විද්‍යාඥයෝ මෙසේ අදහස් දක්වති. පන්තියක 100 ක් සිටී නම් 10 දෙනෙකුට ඉගැන්වීම අනවශ්‍යයය. 10 දෙනෙකුට ඉගැන්වීම දුෂ්කරයි. එසේ නම් 80% ඉගැන්විය හැකිය. අසමත් වන්නේ 10%ක් පමණි. ගුරු කාර්යය වන්නේ ඉහළින්ම දක්ෂතා දක්වන සිසුන්ට ඉගැන්වීම නොව ඉගෙනීමට දුෂ්කර යයි කියන ශිෂ්‍යයන් ඉහළට ගෙනයෑමට උපකාර වීමයි. මෙය 10 දෙනා කෙරෙහි ඉතා උනන්දුවෙන් හා වුවමනාවෙන් එම කාර්යය ඉටුකරන්නේ නම් 100% ක් සමත් කළ හැකිය. ගුරුවරයා බුද්ධිමත් නම් උපක්‍රමශීලිනම් ශිෂ්‍යයා අසමත්භාවයට පත්වන්නේ නැත. ඉගැන්වීමට පහසුම උචිතම තැන තමන් සේවය කරන පාසලයි. නියමිත කාලසටහනට අනුව වැඩකරමින් දුර්වල ශිෂ්‍යයන් උදෙසා අමතර පන්ති පවත්වමින් ඒ ගුරු කාර්යය ඉෂ්ට කරන්නේ නම් ගුරු ගෞරවයත් ආයතන ගෞරවයත් සිසු පරපුරේ උන්නතියත් ජාතියේ ශ්‍රේෂ්ඨත්වයත් ඇතිවීමට මග පාදනු ලැබේ. ගුරුවරයා පසුපස කොපමණ ආර්ථික අපහසුකම් තිබුණත් ගුරු ගෞරවය රැකගත හැක්කේ තමා කරන කාර්යය හෙවත් පාසල් සේවයට ප්‍රධාන ස්ථානය දීමෙනි. එවැනි ගුරුවරුන්ට හොඳ ගෙවල් දොරවල් නොතිබිය හැකය. යාන වාහන, ඉඩම් කඩම් නොතිබිය හැක. එහෙත් ගුරු යන ශබ්දයේ දැක්වෙන අර්ථයට සමාන ගුරුවරයෙක් නම් බිහිවන්නේය.

‘ජීවිතයක වරුණ’ කෘතියෙනි.

● එල්. සුදිරංග

advertistmentadvertistment
advertistmentadvertistment