ජනපතිගෙන් තරුෂිට කෝල් එකක්

705

ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

දුරකථන මාර්ගය ඔස්සේ ඊයේ (05 දා) පෙරවරුවේ එම සිසුවිය සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පවසා ඇති ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කර ඇත.

එසේම තරුෂි කරුණාරත්න සිසුවිය දිවයිනට පැමිණි පසුව ඇය හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

තරුෂි ඇතුළු පදක්කම්ලාභීන්ට සජිත් අනුරත් සුබ පතති

මේ වන විට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ධාවන තරගයෙන් රන් පදක්කමක් දිනා රටට කීර්තියක් ගෙන දුන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව ඇතුළු අනෙකුත් පදක්කම්ලාභීන්ට පාර්ලිමේන්තුවේ දී ඊයේ (05දා) උණුසුම් සුබ පැතුම් පළ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සුබ පැතුම් එක් කළේය. ආණ්ඩුව වෙනුවෙන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එක්වෙමින් තරුෂි ඇතුළු එම ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ අනෙකුක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සුබ පැතීය.

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද ඒ සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් එක් කළේය. ඒ වන විට මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ද සුබ පතමින් ඒ සඳහා එක්විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment