මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා සැතපුම් ගණන් දිගු පෝලිමක්

169

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය සහිත දෙනට අවසන් ගෞරවය දැක්වීම සඳහා ඊයේ (15දා) වන විට සැතපුම් 2.6ක් පමණ දිගැති මහජන පෝලිමක් පැවති බව විදෙස් මාධ්‍ය පවසයි. ලන්ඩනයේ බ්ලැක්ෆ්‍රයර්ස් පාලම දක්වා දිවෙන දිගු මහජන පෝලිමක් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා නිර්මාණය වී පැවතීම හේතුවෙන් පෝලිමේ සිටින මහජනතාවට පානීය ජල පහසුකම් හා වැසිකිළි පහසුකම් සැපයීමට ලන්ඩනයේ පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

දිවා රාත්‍රී හා අව් වැසි නොතකමින් දිනපතාම පාහේ විශාල පිරිසක් එළිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා පෝලිමට එක් වෙමින් සිටින අතර ඉදිරි දිනවලදී මෙම පෝලිම තවත් දික් වෙනු ඇතැයි බලධාරීන් පවසා තිබේ. එංගලන්තයේ වැඩිම කලක් රජකම් කළ රජු හෝ රැජින වන දෙවැනි එළිසබෙත් මහ

රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි බාල, තරුණ, මහලු වැඩි දෙනකුගේ දෑස්වල කඳුළු පිරී තිබුණු බවත් පැය ගණන් පෝලිමේ සිටි ඇතැමෙකු සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් කර ඇත. ස්කොට්ලන්තයේ බෑල්මොරල් මාළිගයේ සිට එංගලන්ත පාර්ලිමේන්තුව පිහිටි ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාව දක්වා රැජිනගේ දේහය සහිත දෙන රැගෙන ආ අතර දේහය ලබන සඳුදා (19දා) වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ අවසන් කටයුතු සිදු කරන තෙක් එහි තැන්පත් කර තැබීමට නියමිතය. මේ අතර දෙවැනි එළිසබෙත් මහරැජිනගේ රාජකීය අවමඟුල් උත්සවයට සහභාගි වීම සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින් රජවරු, රැජිනියන් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 500ක් පමණ දෙනා සහභාගි වීමට නියමිතය. දෙවැනි එළිසබෙත් මහ

රැජිනගේ රාජකීය අවමඟුල් උත්සවය වසර 57කට පසු එංගලන්තයේ පැවැත්වෙන ප්‍රථම රාජ්‍ය ගෞරවය සහිත අවමඟුල් උත්සවය වන අතර මෙයට පෙර අවසන් වරට එංගලන්තයේ රාජ්‍ය ගෞරවය සහිත අවමඟුල් උත්සවයක් පැවැත්වුණේ එරට ලෝක යුද සමයේ සිටි කීර්තිමත් අගමැතිවරයකු වූ වින්සන්ට් චර්චිල් අගමැතිවරයා වෙනුවෙන් 1965 වසරේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment