විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරනවා යැයි මුහුණුපොතේ පෙනී සිටි නරුමයා දැරියක් කෙළසලා!

479

පාසල් යෑම ප්‍රතික්ෂේප කළ දැරිය මවට සියල්ල හෙළි කරලා

අසැබි දසුන් පෙන්වා වයස අවුරුදු 12ක දැරියක ලවා සිය පහත් ආශාවන් සංසිඳුවාගත් බැව් කියන විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන බවට මුහුණුපොතේ තමන් විසින්ම වීඩියෝ පළකර ඇති අයෙකු කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ.

එලෙසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටියේ පදිංචි 37 හැවිරිදි එක්දරු පියෙකි.

තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප්‍රතික්ෂේප කළහොත් තමා සතු විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකොට දැරියගේ කුසට දරුවෙකු ලබාදෙන බවට බියවද්දමින් තර්ජනය කර වසර දෙකක පමණ කාලයක් අදාළ දැරියට අවස්ථා ගණනාවකදී බරපතල ලෙස අතවර සිදුකර ඇති බවට දැරියගේ මව විසින් කුලියාපිටිය පොලිසියේ සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී පොලිසිය සිදුකළ මූලික විමර්ශන අනුව දැරියගේ මව සති පොළට ගොස් සිටියදී දිවාකාලයේ දැරිය නිදාගෙනසිට අවදි වනවිට දැරියගේ සයනය මත සැකකාර වෙදා සිය ජංගම දුරකථනය ඔබමින් සිටි බවත් දැරිය හැඳ පැළැඳ සිටි ඇඳුම් විසිරීගොස් තිබී ඇති බවත් ප්‍රකාශ ලබාදී තිබිණි. එමෙන්ම තවත් අවස්ථාවක දැරිය ජලය රැගෙන ඒමට යෑමේදී මුළුතැන්ගේ පිටුපස සැකකරු රැඳීසිට බලහත්කාරයෙන් දැරියගේ අතින් ඇද අතවර සිදුකර තිබූ බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගන තිබිණි.

මෙම සිදුවීම් දාමයත් සමගින් සැකකරුගේ නිවස යාබදව නිවසක පදිංචිවසිටි දැරිය පාසැල් යෑම ප්‍රතික්ෂේප කර තිබූ බවත් ශීඝ්‍රයෙන් ඇයගේ දෛනික ක්‍රියාකාරකම්වල වෙනස්කම් රැසක් දුටු බවත් මව පවසා තිබේ. ඇය තම නිවසේ දිවිගෙවීම පවා ප්‍රතික්ෂේප කර ඇති නිසා වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කිරීමෙන් පසුව මවට දැරිය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පැවසීමෙන් පසුව මව විසින් පොලිසියට පැමිණිළි කර තිබිණි.

සැකකරු විශ්ව ශක්තියෙන් ශරීර ස්පර්ශ කරමින් රෝගීන් සුව කරන බව පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයෙකු බවත් බටහිර වෛද්‍ය විද්‍යාවට දැඩිසේ දොස් නගමින් සිය මුහුණුපොතේ වීඩියෝ දර්ශන දමන අයකු බවත් පොලිසිය සොයාගෙන ඇත. තවත් බාලවයස්කාර දැරියන්ට සැකකරුගෙන් අතවර සිදුවී ඇත්ත යන්න සෙවීමට ඔහුගේ ජංගම දුරකථනයද නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයට ගෙන අධිකරණ නියෝග අනුව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජය අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක, කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත කාන්තා ළමා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා ධනංජනී බස්නායක, උප පොලිස් පරීක්ෂක සරත්, කාන්තා පොලිස් සැරයන් චතුරිකා (2571), කාන්තා කොස්තාපල් හර්ශනී (9977) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුරවිමර්ශන සිදුකෙරේ.

කුලියාපිටිය – උපේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment