කුඩු රොෂානුත් අත්අඩංගුවට

ප්‍රබලයන් රැසකගේ කෝටි ගණන් දේපළ රජයට

පිටරට සිටින ලොක්කන්ටත් වැඩ වරදින ලකුණු

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය නැති කරනවා

අයුක්තියට එරෙහිව ‘යුක්තිය’ මෙහෙයුමේ දෙවැනි අදියරත් දැන් පටන්ගෙන තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ ‘යුක්තිය’ මෙහෙයුමේ ප්‍රධානත ම අරමුණ වනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කිරීමයි. සැබැවින් ම මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාල සාමාජිකයන්ට එල්ලවූ මරු පහරක් බඳුවිය. මේ වනවිටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඒවා සන්තකයේ තබාගත් පහළොස් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස ම මෙම සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව කියන කෝටි ගණනක දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ. එම දේපොළ අතර සුවිසල් නිවෙස්, බහුදින යාත්‍රාවක්, වෑන්, ජීප් රථ, බස් රථ, කාර් රථ සහ රත්‍රං ආදිය ද තිබේ.

‘තෝරු මෝරු අල්ලන්නේ නැහැ. හාල්මැස්සෝ විතරයි අල්ලන්නේ’ කියලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සමාජයේ මතයකුත් තිබුණා. එහෙත් ‘යුක්තිය’ මෙහෙයුම එම මතය වෙනස් කරමින් හාල්මැස්සෝ විතරක් නොවෙයි තෝරු මෝරු ඇල්ලීමට ද පටන්ගෙන තිබේ. එයට හොඳම උදාහරණයක් ලෙස පසුගියදා අත්අඩංගුවට පත්වූ ‘කුඩු රොෂාන්’ ගතහැකිය.

තුප්පැහිආරච්චිලාගේ ප්‍රසාද් රුවන් හෙවත් ‘කුඩු රොෂාන්’ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිටින ප්‍රබලයෙකි. මෝදර, මට්ටක්කුලිය, වත්තල, ජාඇල සහ සමගිපුර මොහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ස්ථාන වේ.

කුඩු රොෂාන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නේ ඔහුගේ පියා හරහා ය. තුප්පැහිආරච්චිලාගේ සනත් සහ දෙමටගොඩ චමින්ද සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නේ දැනට දශක දෙකකටත් පමණ ඉහත දීය.

එලෙස සනත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටිය දී සමිට් පුර චූටි උක්කුං සමග ගැටුමක් ඇතිකර ගත්තේය. එයට ප්‍රධානතම හේතුව වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මත ඇතිවූ ආරවුලකි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුඩු රොෂාන්ගේ පියා ඝාතනය වීමයි. එය සිදුකරන්නේ චූටි උක්කුංගේ මෙහෙයවීම මතයි.

පියා මියගිය පසු ඔහුගෙන් ගිලිහුණු මත්ද්‍රව්‍ය ජාවාරම ‘කුඩු රොෂාන්‘ සියතට ගත්තේය. එවිට ඔහුගේ වයස අවුරුදු තිහකි. ඔහු සිය සහෝදරියන් සහ ගෝල බාලයන් සමග කොළඹ, ජාඇල, වත්තල, සමිට් පුර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල හෙරොයින් ජාවාරම ජයට ම සිදුකරගෙන ගියේය. පසුව මෙම හෙරොයින් ජාවාරමට ඔහුගේ බිරිඳ වන නිරෝෂණි විජේසිංහ නොහොත් අරුණි ද සම්බන්ධ විය.

මාස කිහිපයක් යද්දි ‘කුඩු රොෂාන්’ අත යහමින් සල්ලි ගැවසුණි. ඒ සමගම තම පියා ඝාතනය කළ පළිය චූටි උක්කුංගෙන් ගැනීමට ඔහු මාන බලමින් සිටියේය.

2016 වසරේ ඔක්තෝබර් මස එක්තරා දිනක දී කුඩු රොෂාන්ට චූටි උක්කුං ගැන ඔත්තුවක් ලැබුණි. ඒ මෙලෙසින්ය. “රොෂාන් අයියේ උක්කුං එනවා 23 වැනිදා සමිට් පුරයේ එල්ලේ තරඟයකට. එකේ ප්‍රධාන ආරාධිත අමුත්තා තමයි මිනිහා. එල්ලේවලට උක්කුං කැමති නිසා අනිවාර්යයෙන් ම එදාට එනවා. ඒක මට ෂුවර්”

එලෙස ඔත්තුව ලැබීමෙන් පසු ‘කුඩු රොෂාන්’ චූටි උක්කුං ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඒ අනුව 2016 ඔක්තෝබර් මස 23 වැනිදා චූටි උක්කුංව සමිට් පුරයේ දී වෙඩි තබා ඝාතනය කළේය. පසුව ආරක්‍ෂක අංශය එම ඝාතනය සිදුකළේ කුඩු රොෂාන්ගේ පාර්ශ්වයෙන් බව අනාවරණය කර ගත්තේය. ඊට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කුඩු රොෂාන් ඇතුළු අටදෙනකු එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ කුඩු රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව අධි චෝදනා 15ක් යටතේ නඩු පැවරුවේය. වසර ගණනක් එම නඩුව විභාග විය. අවසානයේ පසුගිය ජුනි 26 වැනිදා එම පිරිස අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර තිබුණේ ඔවුනට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්‍ෂි නොතිබූ බැවිණි.

තවද 2019 වසරේ අගෝස්තු 15 වැනිදා ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසාන භූමියේ පැවැති අවමඟුලක් වෙනුවෙන් පැමිණ සිටි සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු අසංක සහ ඔහුගේ මිතුරෙකු වූ මොහොමඩ් ඉම්රාන් කපා කොටා ඝාතනය කර තිබුණි. මෙම ඝාතනයට ගම්පහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් සැකපිට අත්අඩංගුවට ගත් අතර කුඩු රොෂාන්ගේ නම ද ඊට ගෑවී තිබුණි. එයට අදාළ නඩුව තවමත් විභාග වෙමින් පවතී.

මෙලෙස ඝාතනවලට සම්බන්ධ කුඩු රොෂාන් වසර ගණනක සිට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී කෝටි ගණන් මුදල් උපයා පවුලේ අය සමග සුර සැප වින්දහ. ‘යුක්තිය’ මෙහෙයුම පටන් ගත්දා සිට කුඩු රොෂාන්ට තරු පෙනුණි. පොලිස් නිලධාරීන් ඔහු පිටුපස පන්නන බව දැන ගන්නට ලැබුණි. ඒ අතර ඔහුගේ ගෝලයන් තිදෙනෙක් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්විය.

‘යුක්තිය’ මෙහෙයුම නිසා තත්ත්වය බරපතළ බව දැනගත් ‘කුඩු රොෂාන්‘ තම බිරිඳ සහ සහෝදරයින් සමග මෙලෙස කතා බස් කළහ.

“මේ මෙහෙයුමක් නිසා අපිට වැඩ වරදින්න යන්නේ”

“ඒක තමයි අයියේ”

“දැනටමත් අපේ තුන් දෙනෙක් අහුවෙලා ඉන්නේ බඩුත් එක්කම. ඊළඟට එන්නේ අපි ළඟට”

“ඒක තමයි දැන් මොකද කරන්නේ?”

“ඔය මෙහෙයුම ගොඩක් දවස් තියෙන එකක් නැහැ. එතෙකන් අපි පොඩ්ඩක් මිසිං වෙලා ඉමු”

“කොහෙද අපි ඉන්නේ එතකං”

“මම කල්පනා කළේ නුවරඑළියට යන්න. මේ දවස්වල සෙනඟත් ඉන්නවානේ. ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ”

“ඒකනම් හොඳ අදහසක්. ඉක්මනට යමු එහෙනම්”

“ඔව්. කල් දාන්න බැහැ අපි හෙට ම යමු”

ඒ අනුව කුඩු රොෂාන් ඔහුගේ බිරිඳ, ළමයි, සහෝදර සහෝදරියන් ඇතුළු විසිතුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නුවරඑළිය බලා පිටත් විය. එලෙස ගිය ඔවුන් ‘යුක්තිය’ මෙහෙයුම අමතක කරමින් දින කිහිපයක් විනෝද විය. ඔවුන් නැවතී සිටියේ නුවරඑළිය නගරයට සමීප සුඛෝපභෝගී නිවසකය. දිනකට පමණක් එම නිවෙස් කුලිය රුපියල් තිස්දහසකි.

‘යුක්තිය’ මෙහෙයුම දින තුනකට නැවතුණි. එය දැනගත් කුඩු රොෂාන් ඇතුළු පිරිස යළි කොළඹ බලා ඒමට පිටත් විය.

එම කාලය අතර තුර වරකාපොළ පොලිස් ස්ථානාධිපති වෙත පසුගිය 28 වැනිදා වැදගත් තොරතුරක් ලැබුණි. ඒ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියකු ගෙන්ය. එම නිලධාරියා පවසා සිටියේ කුඩු රොෂාන් ඇතුළු පිරිසක් වරකාපොළ නිවසකට අවස්ථා දෙකක දී පැමිණ ඇති බවත් එම පිරිස දැන් මහනුවර ප්‍රදේශයේ සිට කොළඹ දෙසට පැමිණෙන බවත්ය. ලද තොරතුර අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු මාර්ග බාධක යොදා පැමිණි වාහන දෙක නවත්වා පරීක්‍ෂා කළහ. එම වාහන දෙකේ පිරිමින් දස දෙනකු, කාන්තාවන් පස්දෙනකු සහ ඔවුන්ගේ දරුවන් අටදෙනකු සිටියහ. පසුව එම පිරිස වැඩිදුර පරීක්‍ෂා කිරීම සඳහා වරකාපොළ පොලිසියට රැගෙන ගියහ. එලෙස රැගෙන ගොස් විමර්ශන කිරීමේදී අනාවරණය වූයේ එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තුප්පැහිආරච්චිලාගේ ප්‍රසාද් රුවන් හෙවත් ‘කුඩු රොෂාන්’ ඔහුගේ බිරිඳ වන විජේසිංහ ආරච්චිලාගේ නිරෝෂණී හෙවත් අරුණි සහ කුඩු රොෂාන්ගේ සහෝදරයන් වන තුප්පැහිආරච්චිලාගේ රන්දෙව් හෙවත් වප්පු, තුප්පැහිආරච්චිලාගේ ප්‍රදීප් අසංක හෙවත් ඇණා ඇතුළු පිරිසකි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිමින් දස දෙනාගෙන් හතර දෙනකුට පොලිස් විශේෂ කාර්යාංශය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ලැයිස්තු ගත කරන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වේ. තවද අත්අඩංගුවට ගත් කුඩු රොෂාන්ගේ බිරිඳ ඇතුළු කාන්තාවන් තිදෙනකුගේ නම් ද එම ලැයිස්තුවේ තිබෙන බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට පත්වූ කුඩු රොෂාන්ගේ මස්සිනා වන චානක සඳරුවන් නමැත්තා ද 2022 වසරේ අගෝස්තු මාසයේ දී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබුණේ මට්ටක්කුලිය පොලිසිය විසින්ය. තවද මොහු කුඩු රොෂාන්ගේ හෙරොයින් සහ අයිස් ගෝලයින් යොදා අලෙවි කරන්නකු බවට ද හඳුනාගෙන තිබේ. කුඩු රොෂාන්ගේ බිරිඳට ද මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සන්තකයේ තබා ගැනීම් සම්බන්ධව චෝදනා එල්ලවී තිබේ.

එලෙස ම කුඩු රොෂාන්ගේ සහෝදරයකු වන රන්දෙව් නොහොත් චප්පුට බාල අපරාධ චෝදනා හතරක් එල්ලවී ඇත. චූටි උක්කුං ඝාතනය කිරීම සහ ආනමාලු රංග ඇතුළු දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම, කුඩු රොෂාන්ගේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විකිණීම ද මොහු සිදුකරයි. එලෙසම අත්අඩංගුවට ගත් සෙල්ලයියා ගණපති ගෞරි සහ බාල ක්‍රිෂ්ණන්, සමන්ත කුමාර යන අය ද කුඩු රොෂාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුවම සම්බන්ධ අය බවට හඳුනාගෙන තිබේ.

මේ අතර කුඩු රොෂාන්ට අයත් බව කියන නිවාස දෙකක් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක් දැනට නීති විරෝධී වත්කම්වලින් උපයාගත් දේපළ බව සඳහන් කරමින් රජයට පවරා ගෙන තිබේ. එම දේපළවල වටිනාකම කෝටි 5 1/2 කට ආසන්නය. එයට අමතරව වරකාපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් හත්දෙනකු රඳවාගෙන ප්‍රශ්න කරනුයේ ලබාගත් දින හතක රැඳවුම් නියෝග මතයි.

කුඩු රොෂාන් ඇතුළු පිරිස එලෙස අත්අඩංගුවට පත්වෙද්දී වෙලේ සුදාට අයත් නිවාඩු නිකේතනයක් පසුගියදා වැටලීමට පොලිසියට හැකි විය. කැප්පෙටිපොළ පොලිස් බල ප්‍රදේශයට අයත් හග්ගල පන්සල අසල මෙම නිවාඩු නිකේතනය පිහිටා තිබුණි. වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඍජුව ම ලැබුණු උපදෙසක් මත මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි.

පොලිස් නිල සුනඛයන් සහ යුද හමුදාවේ සහාය ඇතිව මෙම ස්ථානය පරීක්‍ෂාවට ලක් කළ අතර මෙම දේපළ රාජසන්තක කිරීමට අදාළ පරීක්‍ෂණ කටයුතු මේ වනවිටත් ආරම්භ වෙමින් තිබේ.

ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයකුවන මාතාගේ ගැමුණු දුෂ්මන්ත නොහොත් මාතාගේ රංග නමැත්තාව හෑෂ් මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. තවද මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන සුඛෝපභෝගී ජීප් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබුණි. එමෙන්ම මෙම සැකකරු නිවාස 2ක් ඔහුගේ බිරිඳගේ නමින් සහ තවත් නිවාස 2ක් බිරිඳගේ පියාගේ නමින් මිලදී ගෙන ඇති බවට තොරතුරු හෙළිවී තිබේ. එම දේපළ මිලදී ගෙන ඇත්තේ ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් බවට අනාවරණය වී තිබේ.

තවද ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පොලිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලසියා සහ කුඩු ශ්‍රියානි යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් ලක්‍ෂ 920කට අධික මුදල් සහ දේපළ නීති විරෝධී වත්කම් සහ දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. එම දේපළ අතර බස් රථ 3ක්, කාර් රථ 2ක්, යතුරුපැදි 2, තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 4ක් සහ රත්‍රං පවුම් 50ක් අඩංගුවේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවකු වන කුඩු සනා විමර්ශන නිලධාරීන්ගේ තමන් සතු කෝටි 12ක දේපළ විමර්ශනය නොකරන ලෙස හඬා වැළපෙමින් ඉල්ලා තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ‘යුක්තිය’ මෙහෙයුම ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බවත් විදෙස් රටවල සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්ය. ඒ අනුව පෙනී යන්නේ මේ වනවිට හාල්මැස්සෝ පමණක් නොව තෝරු මෝරු ද අත්අඩංගුවට ගන්නා බවයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment