හොරණ නව බස් නැවතුම ඉහළ මාලයේ පාසල් ළමුන් අපචාරයේ නිරත වීම: – මාධ්‍ය තොරතුරෙන් හොරණ රත්වෙයි

202

හොරණට බැරි නම් පිටතින් පොලිසිය යොදවා අපචාර මඬින්න
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හඬක් නඟයි
හොරණ පොලිසියෙන් බණින හඬ පට නියෝජ්‍ය පොලිස්පතිට එවන ලෙස දන්වයි

කලක සිට හොරණ නව බස් නැවතුම් පොළ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය, සිගරට් සහ විවිධ අපචාර ක්‍රියාකාරකම් සිදු කිරීම පිළිබඳ මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමග හොරණ නගරයේ පිහිටි පාසල් සහ ඊට අදාළ රාජ්‍ය ආයතන කැළඹීමට පත් වී ඇත.

හොරණ වෙළඳාම් කරන කඩ හිමියන් විසින් හොරණ පොලිසිය වෙත මෙම චෝදනාව එල්ල කළ අතර බස් නැවතුම් පොළ පිහිටි පොලිස් මැදිරිය ද ඉබි යතුරු දමා වසා දමා ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය. මෙම වාර්තාව පළ කර දින හතරක් ගත වීමත් සමග බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හොරණ නගරයේ පිහිටි සියලුම රාජ්‍ය ආයතන, පාසල් විදුහල්පතිවරුන්, පෞද්ගලික පන්ති ගුරුවරුන් සහ වෙළෙඳ සල් හිමියන් එක්ව හොරණ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී විශේෂ හමුවක් පැවැත්වීය. එහිදී තෙන්නකෝන් මහතා සභාව අමතමින් පැවසුවේ මේ පුවත නෙත ගැටීමේදී බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට තමා ලැජ්ජාවට පත් වූ බවයි. ඒ ලැජ්ජාව කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් ඇති වෙන්න ඇති, පාණදුර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත් ඇති වෙන්න ඇති. මම දන්නෑ හොරණ ඉන්න ඒ.එස්.පී මහත්තයා, ඕ.අයි.සී. මහත්තය, එච්.ඕ.අයි. මහත්තයා ටයි දැනුනද කියලා.

හොරණ නගරයේ මෙවැනි තත්ත්වයක් තිබුණ කියලා සමාජ මාධ්‍යයේ දාපු ඒ ආයතනයටත්, වීඩියෝ කරපු පුද්ගලයාටත්, ප්‍රකාශ ලබාදුන් කාන්තාවටත් දොස් පැවරීම නෙමෙයි කළ යුත්තේ. පොලිසිය විතරක් නෙමෙයි මෙහි වගකීම. වගකිව යුතු පාර්ශව ගණනාවක් සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් මේ. අප සියලු දෙනාම මේකට වගකිව යුතුයි. හොරණ නගරයේ මත්ද්‍රව්‍ය, මත්පෙති සහ ගංජා විකිණීම නැති කරන්න නම් පොලිසියත්, නගරයේ ව්‍යාපාරික ප්‍රජාවත් එකට එක්ව කටයුතු කිරීමෙන් මෙය නතරකර ගැනීමට පුළුවන්. පොලිසිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මුළු මණින්ම මේක නතර කිරීමට හැකියාව තිබෙනවා. හොරණ පොලිසියට මේක කරන්න බැරි නම් පිටින් වෙනම විශේෂ පොලිස් කණ්ඩායමක් හොරණට එවලා මෙම තත්ත්වය නැතිකරන්න ඔවුන් මාස තුනක් හරි තියලා මෙම තත්ත්වය නැති කරනවා. මෙවැනි ප්‍රවෘත්ති පලවීම මේ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට විදිහට ලැජ්ජාවක්. ලැජ්ජාවට පත්විය යුතු කරුණක්.

එහිදී අදහස් දක්වමින් කඩ හිමියන් පෙන්වා දුන්නේ හොරණ පොලිසියට තොරතුරු ලබා දුන්නත් ඔවුන් බැණ වඳින බවකි. ඊට පිළිතුරු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ පොලිසියට ලබා ගන්නා දුරකථන ඇමතුම් පටිගත කොට තමාගේ ජංගම දුරකථනයට එවන ලෙසයි. එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි විනය නීති ගන්නා බවද, සියලු‍ ආයතන එක්ව මෙයට විසඳුමක් වශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට අවශ්‍ය පොලිස් නිලධාරීන් ලබාදීමට තමන් කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට හොරණ ප්‍රරදේශයේ ස්වාමීන් වහන්සේලා, සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්, පානදුර කොට්ඨාසයට අයත් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්, හොරණ නගරයේ පිහිටි පාසල්වල විදුහල්පතිවරුන්, නගරයේ වයාපාරික ප්‍රජාව සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් එක්ව සිටියහ.
ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment