නැවත කරළියට එන ජෙරම්ගේ “සමාව” නාටකය

414

සිංහල බෞද්ධකමට එරෙහිව කටයුතු කළ විජාතික බලවේග හමුවේ නැඟී සිටි මෙරට යතිවරු ගැන ගැන ඉතිහාසයේ වඩා වැදගත් ආකාරයෙන් සටහන් වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. මිෂනාරි බලවේගවලට එරෙහිව නැගී සිට මෙරට බුදු දහම හා සංස්කෘතිය රැක ගැනීමට ක්‍රියාකළේ මහා සංඝරත්නයයි. 2023 වසරට පානදුරාවාදය සිදුවී වසර 150ක් සපිරේ. ඒ සඳහා නායකත්වය ලබාදුන් වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ 200 වැනි ජන්මදිනය යෙදී තිබෙන්නේ ද 2023 වසරේදීය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ නායකත්වයෙන් 1873 අගෝස්තු මස පැවැති පානදුරාවාදය සුවිශේෂී වාදයක් ලෙස ඉතිහාසගත විය. පානදුරාවාදය සඳහා පාදක වී ඇත්තේ 1873 ජුනි මස 12 වැනිදා පානදුර බැස්ටියන් දේවස්ථානයේ ප්‍රධාන දේවගැති දාවිත් ද සිල්වා බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරැදි ලෙස අර්ථකථනය කරමින් බුදු දහමට නොගැළපෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබීමයි. එය බෞද්ධ පක්ෂය සහ ක්‍රිස්තියානි පක්ෂය අතර වාදයක් පැවැත්වීම දක්වා දුරදිග යෑමට හේතුවක් විය. 1873 අගෝස්තු මස 26 සහ 28 දෙදින ඒ සඳහා වෙන්වූයේ වාදයක් සඳහාය. පානදුර ගල්කන්ද විහාරස්ථානය අසල ඒ වෙනුවෙන්ම අලංකාරවත් සුවිශාල මඩුවක් ඉදිවිය. බෞද්ධ පාර්ශ්වය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ නායකත්වයෙන් ද ක්‍රිස්තියානි පාර්ශ්වය දාවිත් ද සිල්වා පාදිලිතුමාගේ නායකත්වයෙන් ද මෙහෙයවුණු අතර මෙය ඉතාම සාමකාමී වාදයක් ලෙස පැවැතුණු බව ද සඳහන් වේ.

ඇත්තෙන්ම කාලයක් පුරා මේ වන විට බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර පත්‍රිකා සහ පොත්පත් මඟින් වාද පවත්වමින් පැවතිණ. වාද, පත්‍රිකා මඟින් නොව මුහුණට මුහුණලා පැවැත්විය යුතු යැයි අදහසක් මතු විය. ඒ අනුව ප්‍රසිද්ධ වාද පහක් සිදු විය. වරාගොඩ (1865), බද්දේගම (1865), උදන්විට (1866), ගම්පල (1871), පානදුරේ (1873) එම වාද පැවැත්වූ තැන්ය. පානදුරා මහා වාදය සිදුවන විට ධර්මපාලතුමා නව හැවිරිදි විය. කුඩා වියෙහිදීම ආගම සහ ජාතිය පිළිබඳ හැගීමක් ඇති කර ගැනීමට මෙම වාදය හේතුවක් විය. ගුණානන්ද හිමියන්ගේ චතුර කථිකත්වය ධර්මපාලතුමා තුළද පිළිරැව් දෙන්නට ඇතැයි සිතිය හැකිය. එතුමාගේ ව්‍යාපාරයට මඟ හෙළි කළේ පානදුරා වාදයයි. පානදුරා වාදයේ විස්තරයක් එඩ්වර්ඩ් පෙරේරා නීතිඥතුමා විසින් “ද සිලෝන් ටයිම්ස්” පත්‍රයේ පළ කරවන ලදී. පසුව මෙය කුඩා පොතක් ලෙස මුද්‍රණය කරවීය. එහි පිටපතක් පරම විඥනාර්ථවාදියෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ අතටද පත්විය. බුදු දහම පිළිබඳ මහත් ප්‍රබෝධයක් එතුමා තුළ ඇති විය. ඇත්තෙන්ම මෙලෙස පානදුරා මහා වාදයෙන් එදා දිනාගත් අයිතිවාසිකම් මතු පරපුරටද උරුම කර දීමේ අපේ පරම යුතුකමයි. එහෙත් පාන්දුරාවාදයට වසර 150ක් පිරෙන මේ සමයේ බුදු දහමට එරෙහි බලවේග ඉතා ශක්තිමත්ව ක්‍රියා කරන බව පෙනී යයි. එවැන්ජලිකල් පල්ලි සැම තැනම පැතිර ඇත. එසේම ක්‍රිස්තියානි මූලධර්මවාදී දේශකයන් නිරන්තරව ලංකාවට පැමිණ රට පුරා දේශන පවත්වන බව පෙනේ. පාස්ටර් ජෙරම්ගේ නාටකයෙන් ද මේ එවැන්ජලිකල් බලවේග කොතරම් බලවත්ද ඔවුන්ගේ ජාලය පැතිර ඇති අන්දමද වටහා ගත හැකිය. එසේම නූතන කාලිංග මාඝවරු නොඑසේනම් මියගිය කොටි නැවත පණගන්වන්නට උත්සාහ ගන්නා බලවේග කෙළින්ම උතුරේ බෞද්ධ උරුමයට එරෙහි වෙති.

කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා පසුගිය සිකුරාදා දිනයේදී භික්ෂූන් වහන්සේ විසින් කටයුතු සූදානම් කර තිබුණු අතරතුර කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පදිංචිකරුවන් පිරිසක් පැමිණ පිළිම තැන්පත් කර එම ස්ථානයේ කිරි ඉතිරවීමට සූදානම් විය. මෙය සම්පූර්ණයෙන්ම බෞද්ධ උරුමය පාගා දැමීමට උත්සාහ කරන දෙමළ අන්තවාදීන්ගේ ක්‍රියාවකි. උග්‍ර ජාතිවාදී දෙමළ වෙල්ලාලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මේ කණ්ඩායමට නායකත්වය ලබා දී තිබිණි. මීට වසර 2,200කට පෙර ඉදි කරපු කුරුන්දි සෑය හින්දු කෝවිලක් යැයි දෙමළ දේශපාළුවන් පවසන්නේ මේ වෙහෙර නිසා ඔවුන්ගේ නිජබිම් සංකල්පය ලොප්වී යන නිසාවෙනි. පසුගිය සිකුරාදා කුරුන්දියේ ගැටුමක් ඇති නොවූවත් මේ බෞද්ධ උරුමයට අභියෝග කිරීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. බෞද්ධයන් කිසිම විටක නල්ලුර් කෝවිල ඉදිරිපිට පිරිත් කියන්න යන්නේ නැත. මේ භයානක ආගම්වාදී ත්‍රස්තවාදය නැවත්වීමට රජය කටයුතු කළ යුතුය. නැත්නම් සිදුවන්නේ රටම අර්බුදයකට ඇද වැටීමකි. වසර 30ක් ත්‍රස්තවාදී යුද්ධයක් පැවතියද කිසිම විටක බෞද්ධ – හින්දු ගැටුමක් ඇති වූයේ නම් නැත.

ඉහතින් සඳහන් කළ ආකාරයට ජෙරම්ගේ නාටකය යළිත් වරක් රඟ දැක්වෙන බව පෙනෙන්නේ මෙතෙක් කල් නිහඬව සිටි මේ පාස්ටර්ගේ දෙමාපියන් කරලියට පැමිණ බෞද්ධයන්ගෙන් සමාව ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමගය. සිය දේශනවලදී ලංකාව බහුතර ක්‍රිස්තියානි රටක් බවට පත් කළ යුතු බව කියූ මේ පාස්ටර් වරයා අද දෙවියන් සමග එංගලන්තයට පැනගොස් තිබේ. කොරුන් ඇවිද්දවන ජෙරම් පොලිසියට පෙනී සිටීමට බියක් දක්වයි. ඔහුට බිලියන ගණනින් සල්ලි ලැබුණේ කෙසේදැයි කියන්නට හතරවෙනි තට්ටුවට යන්නට බය වන්නේ එහි යන විට දේව බලය අතුරුදන් වන නිසාද? මොහු සැබවින්ම කොළඹ ඉහළ සමාජය මුළා කළ ආගම නාමයෙන් බොරු කළ තක්කඩියෙක් බව නම් පැහැදිලිය. දැන් ජෙරම්ගේ දෙමාපියන් සමාව ගන්නට පැමිණියේ අරගලයේ ඉහළින්ම සිටි සිංහල බෞද්ධ බලය ඉවරයි යැයි කටමැත දෙඩූ නායක හිමිනමක් ළඟටය. මෙය සැබවින්ම බෞද්ධයන් රවටන තවත් නාටකයක් බව නම් පැහැදිලිය. කිසිම විටක ජෙරම්ට ලංකාවට යළි පැමිණ ඩෝම් පල්ලියේ දේශනා පැවැත්වීමට ඉඩ දිය යුතු නැත. මේ පුද්ගලයා කෙළින්ම මෙරට බෞද්ධ සංස්කෘතියට එරෙහි පුද්ගලයෙකි. වංචාකරුවෙකි. රාමඤ්ඤ නිකායේ ප්‍රධාන විහාරස්ථානයට පැමිණි ජෙරම්ගේ මව වන වෙන්ඩි ප්‍රනාන්දු (ඇයද පාස්ටර්වරියක්) හා පියා වන ජයලත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ තම පුත්‍රයා අතින් කියවුණු වචනවලට ඕනෑම අයෙකුගේ සිත් රිදුණේ නම් කෝටි වාරයක් සමාවන ලෙසයි. තම පුත්‍රයා ද නැවත ලංකාවට පැමිණියහොත් ඔහු ද නැවත මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනු ඇති බවද ඔවුන් එහිදී තවදුරටත් සඳහන් කළහ. මෙහිදී වෙන්ඩි ප්‍රනාන්දු කියා සිටියේ “අපි හැම කෙනාගෙන්ම සමාව ඉල්ලනවා අපි පුතා වෙනුවෙන් ඇත්තටම හාමුදුරුවෝ කැමති වුණා අපිට සමාව දෙන්න. හරිම සුහදව සාකච්ඡාව සිදු වුණා අපේ පුතාගේ කතා වලින් සිත් රිදුනු ලොකු කුඩා හැම කෙනාගෙන්ම සමාව ඉල්ලනවා.

තම පුත්‍රයා වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමට මේ දෙපලට අවසරයක් ඇතත් මෙහි යටි අරමුණ කුමක්ද? ජෙරම්ට නැවත ලංකාවට පැමිණ සුපුරුදු “දේව බිස්නස් නොඑසේනම් එවැන්ජලිකල් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට මේ දෙමාපියන් උත්සාහ කරන්නේද? අවශ්‍යනම් ජෙරම් ලංකාවට පැමිණ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර මේ සමාව සත යුතුය. ඇත්තෙන්ම ඔහු සමව ගත යුත්තේ බුදු හිමියන්ගෙනි. එහෙත් ඔහුට එරෙහිව සිදුවන නඩු කටයුතූ ඉදිරියට ක්‍රියාත්මක විය යුතුය. නැත්නම් යළිත් ඩෝම් පල්ලියේ ඩොලර් දේව මෙහෙයන් ආරම්භ වනු ඇත. ජෙරම්ට ප්‍රශ්නය වී ඇත්තේ එවැන්ජලිකල් ව්‍යාපාරය කඩා වැටීමයි. එය කෙසේ හෝ යළි ගොඩනැගීමට බිලියන ගණනක් වුවද මේ පාස්ටර් වියදම් කරනු ඇත. දෙවියන් පරයා සල්ලි ඉදිරියට පැමිණ ඇත. ඩෝම් පල්ලිය නිර්මාණය කරද්දී ගඩොල් වෙනුවෙන් ලැබුණු ඩොලර් දැන් නිමාවී තිබේ. ඒ උල්පත කෙසේ හෝ පාදාගත යුතුය.

මීට මාස කිහිපයකට පෙර එනම් රටින් පැන යන්නට පෙර ජෙරම් පැවසුවේ කුමක්ද? බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත්, ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ බවත් ජෙරම් ප්‍රනාන්දු පවසා තිබිණි. සිය සුඛෝපභෝගී දේශන ශාලාවේ පැවති දේශනාවකදී ඔහු පවසා සිටියේ බුදුන් සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ වන නිසා සෑම බෞද්ධයකුටම ජේසුස් වහන්සේ අවශ්‍ය වන බවයි. බෞද්ධ ඉගැන්වීම සම්බන්ධව තවත් විවිධාකාර අදහස් ඔහු මෙහිදී පළකර තිබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ ජෙරම්ගේ ප්‍රකාශය රට පුරා පැතිර යෑමට ගතවූයේ ඉතා සුළු කාලයකි. මහා සඟරුවන ඇතුළු බොහෝ පාර්ශ්ව මෙම ප්‍රකාශය හෙළා දකින්නට විය. මේ නිසාම ඔහුට රතු එළි දැල්වෙන්නට විය. ජෙරම් බුදුන්ට නිග්‍රහ කරන විට කටුනායක ඩෝම් පල්ලියේ රැඳී සිටි අනුගාමිකයෝ අත්පුඩි තලන්නට වූහ. බෝර්න් එගේන් සාමාජිකයෝ කොහොමත් මේ මෙරට මහා සංස්කෘතිය ට විරුද්ධ ය. අරගලය පිටුපස දැවැන්ත කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ද බෝන් එගේන් කල්ලියේ අනුග්‍රහය ලබන්නන් ය. ලංකා පාර්ලිමේන්තුවේ පාස්ටර් ලා වෙති. ඔවුන්ට වෙනම පල්ලි ඇත. එක් පල්ලියක් කිරුළපන මහ පාර අසල ඉදිව ඇත. 1979 උපන් විවාහකයකු වන ජෙරම් ග්ලෝරියස් නම් කොළඹ පිහිටි දේවස්ථානයකද අධිපතීත්වය දරයි. ජෙරම් ප්‍රනාන්දුගේ අධ්‍යාත්මික ගුරුවරයා වන්නේ සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා බව කියැවේ. ඒ කෙසේ වෙතත් ජෙරම් ඇතුළු පිරිස ජාත්‍යන්තර ජාලයක් ලෙස ක්‍රියාත්මක වන අතර ලොව පුරා ජාතීන් 87ක් වෙත සේවය සලසන බව කියා සිටී. ඔවුන්ට අනුව ලොව පුරා තුන් කෝටි අසූ නව ලක්ෂයක පමණ පිරිසක් ජෙරම් ප්‍රමුඛ කණ්ඩායම අනුගමනය කරන බව ඔවුනගේ වෙබ් අඩවිය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment