අවුරා සභාපති අත්අඩංගුවට නොගෙන උසාවි ගෙන ආවේ ඇයි? – මහෙස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස්

4136

තරයේ අවවාද කර සැකකරුට ඇප දෙයි
රාජාංගනයේ ඕ.අයි.සී.ට තර්ජනය කිරීමේ සිද්ධිය:

රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. එස්. ගජසිංහ මහතාට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවැති භූමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ බැණ තර්ජනය කොට ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111) අමිල සෙනෙවිරත්න මහතා ඇතුළු රාජාංගනය පොලිසියේ නිලධාරින් ඊයේ (26) නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ අවස්ථාවේ නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාර වූ අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති හා කෝටිපති ව්‍යාපාරික නන්දික විරංජිත් තාඹුගල නමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත් නාලක බංඩාර ඉලංගරත්න මහතා නියෝග කළේය.

එම අවස්ථාවේ පොලිසිය පසුපසින් පැමිණ ඇති සැකකරු අත්අඩංගුවට නොගෙන නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාර වීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පොලිසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහෙස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසූ අවස්ථාවේ පොලිසිය කිසිවක් නොපවසා නිහඬව සිටියේය.

මේ අතර නන්දික විරංජිත් තාඹුගල නමැත්තා අත්අඩංගුවට නොගෙන ඔහුට නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාර වීමට පොලිසිය විසින් ලබා දී තිබූ වරප්‍රසාදය සාමාන්‍ය පුද්ගලයන්ට නැත්තේ ඇයි දැයි විනිසුරුවරයා මෙහිදී පොලීසියෙන් ප්‍රශ්න කළේය.

මේ අතර මින් මතු පොලිස් නිලධාරීන් පමණක් නොව කිසිදු රාජ්‍ය නිලධාරියකු වෙත තම බලය අනීතික ලෙස පාවිච්චි කොට තර්ජනය කර ඇති බවට අධිකරණයට වාර්තා වුවහොත් තරාතිරම නොබලා බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බව ද මහෙස්ත්‍රාත්වරයා සැකකරුට දැඩි ලෙස අවවාද කරමින් පැවසීය.

අනතුරුව දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

නැවත නඩුව ලබන නොවැම්බර් මස 23 වැනිදාට කල් තැබූ විනිසුරු නාලක බංඩාර ඉලංගරත්න මහතා එදිනට සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment