කොරියානුවාගේ ජල ක්‍රීඩාව මරණයෙන් කෙළවර වෙයි

685

කැමරාව අටවා පිහිනුම් තටාකයට පැන්න කොරියානුවා ගීලී මියගිහින්

වාද්දුව සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු ඩිජිටල් කැමරාවක පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයකු පිහිනුම් තටාකයට වැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

පෙරේදා (17දා) වාද්දුව සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු ඊයේ (18දා) උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු හෝටලයේ විදුලි සේවකයකු දැක දැනුම් දීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.

ඊයේ උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්ම මත කැමරා ආධාරකයක් (ත්‍රයි පෝඩ්) තබා ඒ මත දෙපසම පටිගත වන අධි තාක්ෂණික ඩිජිටල් කැමරාවක් රඳවා කොරියානුවා මුහුදු වෙරළ දෙස සිට පිහිනුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයි ද පොලිසිය පවසයි.

අඩි 4ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැක පළකරන බවත් එහි මියගොස් ඇති තැනැත්තාගේ බවට සැක කරන හිස කෙස් කොටස් රැඳී ඇති බවත් පරීක්‍ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

පානදුර අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාර නිලධාරීන් පරීක්‍ෂණ සිදුකර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නිශ්ශංක මහතා සමගින් සැරයන් ජගත් සිරිවර්ධන (41055) පරීක්‍ෂණ පවත්වති.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment