මණ්ඩලයට කලින් මෝල් හිමියෝ කුඹුරට

56

රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික අංශය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම නිසා වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් වී අලෙවි කිරීමට මෙවරද දැඩි මැළිකමක් දක්වන බවත් ඒ අනුව තවමත් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගෙන ඇත්තේ කිලෝ ලක්‍ෂයක් පමණක් බවත් වාර්තාවෙයි.

මෙම තත්ත්වය මත වී වගා කරන දිස්ත්‍රික්ක 09 යෙහි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 50 න් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට මෙතෙක් ගොවීන් වී අලෙවි කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ලැබී ඇත්තේ වී කිලෝ ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් බවද එම ආරංචි මාර්ග පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 200 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබුණි. නමුත් එම මුදල නොලැබීම නිසා ගොවි භාරකාර අරමුදලින් රුපියල් කෝටි 25 ක් ලබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබුණි.

මේ අතර ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව රුපියල් කෝටි 50 ක් මහාභාණ්ඩාගාරයෙන් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟ වී ඇත.

ඒ අනුව ඕනෑම මොහොතක ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එහිදී මිලදී ගනු ලබන්නේ රතු කැකුළු වී කිලෝවක් රුපියල් 100 ක්, නාඩු කිලෝවක් රුපියල් 120 ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 130 ක් බැගින් වූ රජයේ සහතික මිලට බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment