මන්ත්‍රීගේ හෘද සාක්‍ෂිය රටට කියාදෙන පාඩම

1045

ජනතාව මගේ දරුවන්ටත් සාප කරනවා. එනිසා මං ඉල්ලා අස්වෙනවා යැයි කියමින් සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගිය දිනෙක සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේය.

හෘද සාක්‍ෂියට එකඟව මෙවැනි ප්‍රකාශයක් කරමින් මෑතදී මෙවැනි තීන්දුවක් ගත් එකම මන්ත්‍රීවරයා වන්නේ ඔහුය.

චමින්ද විජේසිරි මහතාට දරුවන් තිදෙනෙකි. ඉන් දෙදෙනකු පෙර පාසල් යන වයසේය. එම දරු දෙදෙනා බොහෝ වේලාවට පෙර පාසලට රැගෙන යන්නේ මන්ත්‍රීවරයාය. එහිදී ඔහුට හමුවන මිනිස්සු පවසන දේ ගැන ඔහු තුළ ඇතිවන්නේ දැඩි කම්පනයකි. “මට සමාජයේ මිනිස්සු ගොඩක් හමුවෙනවා. ඔවුන් දේශපාලනඥයන් ගැන කියන කතා මට ඇහෙනවා. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225ම පිළිබඳව විශාල එපාවීමක් තිබෙනවා. පසුගිය දිනෙක දියවන්නාවෙන් කිඹුලෙක් මතුවුණා. මම ඒ අසලින් යද්දී එම කිඹුලාව බලන්න ගියා. එතැන හිටපු මිනිස්සු කිව්වේ මොකක්ද? ඒ මිනිස්සු කිව්වේ මේ පාර්ලිමේන්තුවේ සිටින 225ම මේ කිඹුලට කන්න දෙන්න ඕනෑ කියලයි.”

අද වන විට අප රටේ මහජන නියෝජිතයන් පිළිබඳව ජනතාවට ඇත්තේ තියුණු කලකිරීමකි. තමන්ට දහසක් බලාපොරොත්තු ලබාදී පාර්ලිමේන්තුවට රිංගා ගන්නා මහජන නියෝජිතයන් ඊළඟ මොහොතේදී ජනතාව අමතක කරති. මේ පාඩම අපේ රටේ ජනතාව වරක් දෙවරක් නොව ඊටත් වඩා අත්විඳ තිබේ. ඡන්ද කාලයේදී සුන්දර ලෝකයට ජනතාව ගෙනියන මහජන නියෝජිතයෝ ඊළඟ මොහොතේදී අප රටේ ජනතාවට අත්කර දී ඇත්තේ අපායකි. වසර 75 කට අධික කාලයක් තිස්සේ අප රට විවිධ පාටින්, විවිධ පක්‍ෂවලින්, විවිධ සන්ධානවලින් පාලනය කළ ද අද අප රට හිඟන රටක් බවට පත්ව ඇත. අපි පාසල් යන කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටක් බවට අප රට ගැන ඉගෙන ගත්තෙමු. පසු කාලයේදී මැදි ආදායම් ලබන රටක් ලෙස අප රට හැඳින්වූයෙමු. නමුත් අද වන විට අප රට මුළු ලෝකයටම ණය වූ නිසා හිඟන රටක් බවට පත්විය. විදෙස් රටවලින් ගත් ණයවල වාරික ගෙවා ගැනීමට බැරි තරමටම අප රට බංකොළොත් විය. අපට පසුගිය කාලයේදී විදුලිය නොමැතිව අඳුරේ සිටීමට සිදුවූයේ එනිසාවෙනි. කුඹුරට පොහොර නොමැතිව ගොවීහු කබලෙන් ළිපට වැටුණි. ගෑස් සහ ඉන්ධන පෝලිම්වල ජනතාවට කල්මැරීමට සිදුවිය. පෝලිම්වල ජනතාව මැරී වැටෙන රටක් බවට අප රට පත්විය. එදා තරුණ තරුණියන් ඇතුළු මුළු රටම නැගී සිට අරගලයක් දියත් කළේ මේ ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලමිනි. අද වන විට ගෑස් තිබේ. විදුලිය ඇත. පොහොර ද තිබේ. එහෙත් ජනතාවගේ අතමිට සරු නැත. වැඩිවූ ලයිට් බිල්, වතුර බිල් ගෙවූ විට ජනතාවට කෑමට ඉතිරි වන්නේ පිච්චියක් පමණි. එම පිච්චියට ද වෙළෙඳපොළට ගිය විට ගත හැකි දෙයක් නැත. බඩු මිල අහස උසට නැග තිබේ. රටක් මෙවැනි තත්ත්වයට පත් වූ විට මහජන නියෝජිතයන්ට සාප කරනවා හැර ජනතාවට කරන්නට තවත් දෙයක් ඉතිරිව නැත. බඩු මිලෙන්, බදුවලින් හෙම්බත් වූ ජනතාවගේ හෘද සාක්‍ෂිය කියවා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට චමින්ද විජේසිරි මහතාට හැකිවීම ගැන අපි සතුටු වෙමු. මෙය අන් මහජන නියෝජිතයන් බරපතළ ලෙස වටහාගත යුතු කාරණයකි. ජනතාව ගැන නොසිතා තමන්ගේ පරම්පරාව පෝෂණය කළ මහජන නියෝජිතයන්ට ඉදිරියේදී ජනතාව නමැති අධිකරණය හමුවේ නිසි දඬුවම් ලැබෙනු ඇත.

අප රටේ දේශපාලන ඉතිහාසය ගත් විට මුල් යුගයේදී මහජන නියෝජිතයන් ලෙස පත්වූයේ සැබෑ මහත්වරුය. ඔහුට තම ඥාතීන්ගේ පවුල් හෝ පරම්පරාව පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් නොතිබිණි. ඔවුනගේ එකම පරමාර්ථය වූයේ ජනතාවට සේවය කිරීම පමණි. අද අපේ රටට අවශ්‍ය වන්නේ එවැනි මහත්මා දේශපාලනයක නිරත විය හැකි පිරිසකි.

මෙහිදී අප රටේ ජනතාවට නැතහොත් පුරවැසියන්ට ද වගකීමක් ඇති බව තේරුම් ගත යුතුය. තමන්ට ලැබුණු හෝ ලැබේවි යැයි සිතන සුළු වරප්‍රසාදයකට යටවී තමන්ගේ ඡන්ද අයිතිය පවා නොදීමට ජනතාව වගබලා ගත යුතුය. කොයි පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට යැව්වත් සැබෑ ලෙසම ජනතාවට රටට ආදරය කරන කොමිස් කාක්කන් නොවන පුද්ගලයන් මහජන නියෝජිතයන් බවට පත්කිරීමේ වගකීම ඇත්තේ ද ජනතාවටය. ඡන්ද කාලයේදී ඇස් මායම් වන පොරොන්දුවලට නොරැවැටී මේ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන වැටී ඇති රට කෙලින් කළ හැකි අභියෝග ජයගත හැකි අවංක මහත්මා දේශපාලනඥයන්ගෙන් අපේ පාර්ලිමේන්තුව පිරවිය යුතුය. රටම බනින පාර්ලිමේන්තු නියෝජිතයන් නොව රටට ආදරය කරන රටේ ජනතාවගේ පැසසුමට ලක්වන රට වෙනුවෙන් කැපවෙන සැබෑ මහජන නියෝජිතයන් හැම පක්‍ෂයකින්ම පාර්ලිමේන්තුවට යැවිය යුතුය. මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මහතාගෙන් උගත හැකි පාඩම එය බව අපගේ විශ්වාසයයි.

advertistmentadvertistment
advertistmentadvertistment