කාන්තාවගේ ප්‍රකාශ පරස්පරයි: ධනුෂ්ක නිදොස්කොට නිදහස්

228

ඉක්මනින් ක්‍රිකට් ගහනවා: කීර්තිනාමය ගොඩනගා ගන්නවා – ධනුෂ්ක කියයි

කාන්තාවකගේ කැමැත්තෙන් තොරව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට ඔස්ට්‍රලියාවේ සිඩ්නි දිස්ත්‍රික් උසාවියේ විනිසුරු සාරා හගෙට් මහත්මිය ඊයේ තීන්දු කළාය.

විනිසුරුවරිය සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේ අදාළ කාන්තාව සිය ප්‍රකාශ දෙකක පරස්පර කරුණු දක්වා ඇති බවයි. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිවැරැදිකරු බව තීන්දු කළ අතර ඔහු සත්‍යවාදී බවත් ප්‍රකාශ කෙරිණි.

සැප්තැම්බර් 18 වැනිදා සිට දින 4ක් මෙම නඩුව විභාග කිරීමෙන් පසු ඊයේ (28 දා) එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

තමාට එරෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම නිසා නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තම කීර්ති නාමය යළි ගොඩනගා ගැනීමට කටයුතු කරන බව බව ධනුෂ්ක ගුණතිලක පවසා තිබේ. සිඩ්නි උසාවියෙන් පිටත ගුණතිලක වාර්තාකරුවන්ට පැවසුවේ මේ තීන්දුව සියල්ල පවසන බවයි. පසුගිය මාස 11 තමා ගත කළ අසීරු කාලය පුරා සහය පළ කළ නීතිඥයින්ට, කළමනාකරුවන්ට, දෙමාපියන්ට සහ අනෙකුත් අයට ඔහු ස්තූති කළේය. “හැමෝම මාව විශ්වාස කළා, ඒක මට ගොඩක් වටිනවා. මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා ඉක්මනින්ම නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ඔහු කීවේය.

පසුගිය වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඔස්ට්‍රේලියානු පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ල අපයෝජනයට ලක් වූ තරුණිය විසින්ම සිදුකර තිබූ අතර, සිඩ්නි පොලිසිය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස හයවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළ දී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා ලදී. සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක ඉකුත් නොවැම්බර් මස 17 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය. ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී එරට රජයේ නීතිඥයන් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී. එසේ වුව ද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධයෙන් චෝදනාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබිණි. එම චෝදනාවට ඔහු නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ කෙරිණි.

ඔහුට ලිංගික අතවර චෝදනා කළ තරුණිය පෙර ආත්මයේදී එකිනෙකා දැන හඳුනා ගැනීමක් ගැන කතා කිරීමෙන් පසු එය “ටිකක් අමුතු” යැයි සිතූ බවත්, තමාට බියක් දැනුණු බවත් ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබිණි.

ක්‍රීඩක ගුණතිලක ඔස්ට්‍රලියාවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ක්‍රිකට් තහනමකට ලක් විය. ඔහු 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර ටෙස්ට් තරග 8ක් ඇතුළුව තරග 100කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ඔහු T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාවට ගිය නමුත් එක් තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසු මස්පිඬු ඉරීමක් නිසා තරගාවලියෙන් ඉවත් විය.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මුරුගන් තංගරාජ් මහතාය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment