අම්මා දුන් රු.100ත් අරන් රැකියාවට ගිය ෆාතිමා අතරමගදී කාමාතුරයකුට බිලිවුණා

997

ගම්පොලවෙල ප්‍රදේශයේ නිවසකදී සැකකරු අත්අඩංගුවට නීතිඥවරයෙකුත් නිවසේ ඉඳලා
තරුණිය කැලෑවට ඇදගෙන යන්න හදද්දී විරුද්ධ වූ නිසා බෙල්ල මිරිකා කුඩයෙන් ඇන මරා වැළලුවා
මිනීමරුවා පාපොච්චාරණය කරයි
ගම්පොල ඇල්පිටිය හැඬවූ ඛේදවාචකය


සිරුර ගොඩ ගනිද්දී තරුණියගේ මළ සිරුර සමඟ ඇයගේ ගමන් බෑගය ද දහවල් ආහාර වේල සමඟ රුපියල් දහ තුනක් සමග තවත් උපකරණ කීපයක් ද ඖෂධහලේ යතුරු කැරැල්ල ද ඇයගේ ජංගම දුරකථනයද වළ තුළ තිබී හමුවී ඇත

ඝාතනය කර වළ දමා තිබියදී සොයාගත් ගම්පොල වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ෆාතිමා මුනවුවරා නමැති තරුණියගේ සිරුර ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා ඉදිරියේ ඥාතීන් විසින් හඳුනා ගැනීමෙන් පසු ගොඩගනු ලැබීය.

පසුගිය ඉරිදා (7දා) නිවසේ සිට සිය සේවා ස්ථානය වෙත යමින් සිටි මෙම තරුණිය අතුරුදන්ව සිටියාය.

දින හයක් පුරා ඇය අතුරුදහන්ව සිටි අතර ඇය සොයා ගම්පොල පොලිසිය හා ගම්වාසීන් ඇල්පිටිය මහවැලි ගඟ දෙපස වන රොදවල් හා ඥාති නිවාස පරික්ෂා කර තිබුණි.

ෆාතිමා ගෙලිඔය ප්‍රදේශයේ ඖෂධ හලක සේවය කරමින් සිටි අතර පසුගිය 7දා බස් ගාස්තු ලෙස මවගෙන් රුපියල් 100 ක්ද රැගෙන ඇල්පිටිය ප්‍රදේශයේ සිට පාගමනින් වැලිගල්ල දක්වා ගමන් කිරීමේ දී ඇය මෙසේ අතුරුදන්ව තිබුණි.

නිවසේ සිට මීටර 100ක් දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ සීසීටීවී කැමරාවල ඇයගේ රුව සටහන්ව තිබූ අතර ඉන්පසු කිසිවෙකු ඇය දැක තිබුණේ නැත.

ඇයගේ දුරකථනය පවා විසන්ධි වී තිබූ අතර සේවා ස්ථානයෙන් එදින පෙරවරු 11ට පමණ ඇයගේ නිවසට කතා කර ඈ පිළිබඳව විමසීම නිසා ඇය අතුරුදහන් ව ඇති බව ඥාතීන් දැනගෙන තිබුණි.

සේවා ස්ථානය වන ඖෂධහලේ යතුර පවා ඈ සතුව තිබී ඇති අතර ඒ අනුව ඇය අනිවාර්යෙන්ම එම ස්ථානයට යා යුතුව තිබී ඇත. ෆාතිමාට වැඩිමහල් සොයුරන් තිදෙනෙකුද සිටින අතර ඇය පවුලේ එකම ගැහැණු දරුවා ය. මව අසනීප තත්ත්වයෙන් පසුවුවද පියා මේ සියලු‍ කටයුතු සොයා බලා ඇත.

මෙම පිරිස හා ඥාතීන් ඇය පිළිබඳව ගම්පොල පොලිසියේ මෙම අතුරුදහන් වීම සටහන් කර තිබුණි. ඒ අනුව ගම්පොල පොලිසිය ඇයගේ ජංගම දුරකථන වාර්තා පවා ගැනීමට කටයුතු කර තිබුණි. ගම්පොල කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා ගම්පොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සමග ඇය සෙවීමට සැලසුම් කළේ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව තිබූ සැකය ද සමගිනි.

ඒ අතුරින් සීසීටීවී කැමරාවේ ඇයගේ පසුපසින් යන පුද්ගලයා පිළිබඳව බුද්ධි පරීක්ෂණ අරඹා තිබුණි. එම ගමේම පදිංචි අහමඩ් නමැති එක්දරු පියකු වූ මොහු එළුවන් හැදීමේ කාර්යයේ නිරත වූවෙකි.

මේ අතර ගම්පොල පොලිසියේ අපරාධ අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා වෙත විදේශ රටකින් ඇමතුමක් ලැබී ඇති අතර ඉන් කිය වී ඇත්තේ අතුරුදන් තරුණිය ඇල්පිටියේ අහමඩ් යන අය සමග ගම්පොලවෙල ප්‍රදේශයේ නිවසක සිටින බවයි.

පොලිසිය වහාම ඒ පිළිබඳ සොයා බැලූ අතර එහිදී මෙම සැකකරු නීතිඥවරයකු සමග එම නිවසේ රැඳී සිටියදී ගම්පොල පොලිස් භාරයට ගෙන තිබුණි. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළිවී තිබේ. සැකකරු මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කර තිබුණද ගම්පොල පොලිසියේ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ තරුණිය කෙළෙසීමේ අදහසින් ඔහු ක්‍රියා කර ඇති බවයි.

එසේම මොහු මුහුණු පොත හරහා ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු මෙම ඝාතනය සිදුකළ බවත් ගම තුළ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් සිටින බව ප්‍රකාශ කර තිබීමත් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී එම ප්‍රකාශය තමා සිදු කළ එකක් නොවන බවත් ගම්පොල පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා ඉදිරියේ ප්‍රකාශ කර ඇත. එමෙන්ම මෙම අහමඩ් යන අයගේ පියා ඇතුලු‍ පවුලේ ඥාතීන් විසින් මෙම ඝාතනය දැනගෙන තිබූ අතර එය සැඟවීම සඳහා නොයෙකුත් සැලසුම් සකස් කොට ෆාතිමාගේ පවුලේ අය නොමග යැවීම සඳහා විවිධ ප්‍රකාශ කර ඇති බව ද හෙළි වී ඇත.

24 හැවිරිදි මෙම සැකකරු එළුවන්ට කොළ අතු කැපීමට යන ලෙස පිහියක්ද රැගෙන මෙම තරුණිය පසුපසින් ගමන් ගන්නා ආකාරය මෙසේ කැමරාවේ සටහන්ව තිබීම හා ඔහුගේ පරස්පර ප්‍රකාශ පිළිබඳව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ අරඹා තිබේ.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙසේ ගමන් කරන තරුණියගේ අතින් අල්ලන මොහු ඇය ඒ අසල තිබෙන කැලෑබද පොල් වත්තක් තුළට රැගෙන යාමට උත්සාහ කළ බවයි.

නමුත් තරුණිය එයට විරුද්ධව ඔහුට බැණ වැදී සිද්ධිය පියාට පවසන බව පැවසීම නිසා ඔහු ඇයගේ ගෙල මිරිකූ බවත් බිම වැටුණු ඇයට ඇයගේ කුඩයෙන් බෙල්ලට ඇන ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් පසුව මොහු මෙම තරුණිය පොල්වත්ත ඇතුළට රැගෙන ගොස් උදැල්ලක් සොයා ගෙනැවිත් වළ දැමූ බවද අනාවරණය වී තිබේ. තරුණිය පොල් වත්ත තුළට ඇදගෙන යාමේදී ඇයගේ අත බැඳී ඔරලෝසුව ද එම මඟ වැටී තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

ඉන්පසු ඇය පැළඳ සිටි පාවහන් යුගල ද වතුර බෝතලය ඇතුළු අනෙකුත් දෑ එම කැලෑ ප්‍රදේශයේ විවිධ ස්ථාන වෙත ඔහු විසිකර තිබේ.

ෆාතිමාගේ දේහය ගොඩගන්නා අවස්ථාව සඳහා මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී ආර් .පී. ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර එම අවස්ථාව සඳහා තරුණියගේ පියා හා සහෝදරයා මෙන්ම මව ද සහභාගී වී සිටියහ. මළ සිරුර සමඟ ඇයගේ ගමන් බෑගය ද වල තුළට දමා තිබූ අතර එහි ඇයගේ දහවල් ආහාර වේල සමඟ රුපියල් දහ තුනක මුදලක් සමග තවත් උපකරණ කීපයක් විය. එසේම ඇය සේවය කළ ඖෂධහලේ යතුරු කැරැල්ල ද එහි විය.

විසන්ධි කර තිබූ ඇයගේ ජංගම දුරකථනයද එම වළ තුළ තිබී හමුවිය. මව විසින් බස් ගාස්තු ලෙස දී තිබූ රුපියල් 100 එහි නොතිබුණි. ඇය වළ දමා තිබුණේ එතරම් ගැඹුරු වූ වළක නොවේ. එහි උඩ කොටසේ පස් අතින් ඉවත් කිරීමේ දී එම සිරුර මතුවුණි. ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර ජාතික රෝහල වෙත රැගෙන යනු ලැබීය.

මෙහිදී ගම්පොල ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර පොලිස් සැරයන්වරුන් වන 12642 රත්නායක 21002 බන්දුල කාන්තා පොලිස් සැරයන් 2972 ඉනෝකා උඩගෙදර යන නිලධාරීහු විද්‍යාත්මක සාක්ෂි රැසක් ද සොයාගනු ලැබීය.

ගම්පොල කොට්ඨාස බාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් මත ගම්පොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිංහ, පොලිස් පරීක්ෂක ජයන්ත, කාන්තා පොලිස් පරීක්ෂක රසිකා, උප පොලිස් පරීක්ෂක පාලිත, පොලිස් පරීක්ෂක දසනායක, උප පොලිස් පරීක්ෂක තිස්ස, පොලිස් සැරයන් 33128 දිසානායක, පොලිස් කොස්තාපල්වරු වන 101295 විමලසුරේන්ද්‍ර, 101329 චන්ද්‍රසේන, කාන්තා පොලිස් කොස්තාපල්වරු වන 1937 ප්‍රදීපා, 9205 ඉෂංකා යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment