හිර ගෙවල් හදන්න උඹට බැහැ – හිරගෙදරට කුඩු එන එක නවත්තන්නත් බෑ – දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්

885

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ නියාමකවරයෙකුට සහ මවට පහර දෙයි

“උඹ හිර ගෙදර හදන්න එන්න එපා. හිර ගෙවල් හදන්න උඹට බැහැ. හිරගෙදරට කුඩු එන එක උඹට නවත්තන්නත් බෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්” යැයි තර්ජනය කරමින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන තරුණ නියාමකවරයකු ගේ මිනුවන්ගොඩ, වෑගොව්ව, රාජසිංහපුර නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී නියාමකවරයාට සහ මවට පහර දී සොයුරියගේ ජංගම දුරකථනය පොළොවේ ගසා විනාශ කළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ඉකුත් 12 වෙනිදා අලුයම් කාලයේ දී කළු ජැකට් සහ ආවරණය කරන ලද ආරක්ෂක හිස්වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තිදෙනකු නියාමකවරයාගේ නිවසේ දොරට තට්ටු කර නිවසේ දොර විවෘත කරවාගෙන ඇති බව පොලිසිය කියයි. නියාමකවරයාගේ මව විසින් නිවසේ දොර විවෘත කර ඇති බවත් නිවස තුළ නියාමකවරයා ඔහුගේ මව සහ සොහොයුරිය සිට ඇති බවත් පොලිසිය කියයි.

නියාමකවරයා කාමරයෙන් එළියට පැමිණි අවස්ථාවේ මැරයන් තිදෙනා නියාමකවරයාට සහ මවට පහරදී නියාමකවරයාට මාංචු දමා නියාමකවරයාව දණගස්සවා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තර්ජනය කර යතුරුපැදියෙන් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමට ලක් වූ නියාමකවරයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. රෝහල්ගතව සිටින නියාමකවරයාගේ ජීවිත ආරක්ෂාව පතා බන්ධනාගාර නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. පොලිසියට අමතරව බන්ධනාගාර මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

කාමරයේ සිට ගෙයි සාලයට ආපු පුතාව ඔවුන් අල්ලා ගත්තා

කාමරයට රැගෙන ගෙන ගොස් දණගස්සවා පහර දුන්නා  – මව කියයි

මාරසිංහ මහත්තයා කියා නිවස ඉදිරිපිට සිට කිසිවෙකු කතා කරනවා ඇහුනා. වේලාව පාන්දර 4 ට 4.30 ට විතර ඇති. අපි නිදාගෙන සිටියේ. පුතාගේ යාළුවෙක් වෙන්නැති කියා මා ඉදිරි දොර අඩක් විවෘත කළා. එලියේ හිටගෙන හිටපු තිදෙනා මාවත් තල්ලු කරගෙන ගෙට ඇතුළු වුණා.

කාමරයේ සිට ගෙයි සාලයට ආපු පුතාව ඔවුන් අල්ලා ගත්තා. අල්ලා කාමරයට රැගෙන ගෙන ගොස් දණගස්සවා පහර දුන්නේ යැයි මැරයන් තිදෙනකුගේ පහර කෑමට ලක් වූ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වූ සංඛ කුසල් මාරසිංහ යන අයගේ මව වන විජේසිංහගේ ලලිතා මහත්මිය ඊයේ (14දා) එසේ පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිතා මහත්මිය – අපි පදිංචි වෙලා ඉන්නේ මිනුවන්ගොඩ පොලිසිය ආසන්නයේ වෑගොව්ව රාජසිංහ පුර ප්‍රදේශයේ. සිද්ධිය වුණේ 12 වැනිදා. නිවසට ඇතුළු වුණු තිදෙනා කළු ඇඳලා මුහුණු ආවරණය කරන හෙල්මට් පැළඳගෙන සිටියේ. එම මැරයන් තිදෙනා නිවෙසට ඇතුළු වූ සැණින් මගේ සහ දුවගේ අත තිබූ ජංගම දුරකථන ඔවුන් භාරයට ගත්තා. එක් අයෙකු අත පිස්තෝලයක් තිබුණා. එම තිදෙනා පුතාව අල්ලාගෙන හිසට පිස්තෝලයක් තබා තර්ජනය කරමින් පුතාගේ දෙඅත් පිටුපසට කර කේබල් ටයි එකකින් හිර කරනු ලැබුවා. “උඹට හිරගෙදර හදන්න බෑ. අපේ දේවල්වලට ඇඟිලි

ගසන්න එපා. තවත් විවිධ දේ කියමින් තර්ජනය කළා. පුතාගේ හිසට සහ මුහුණට පිස්තෝලයෙන් පහර දිදී මරණීය තර්ජනය කරන අවස්ථාවේ මා පුතා බේරාගන්න මහත් උත්සාහයක් ගත්තා. එම මැරයන් පිස්තෝලයෙන් පහර දීම හේතුවෙන් මගේ ඔළුවේ ගෙඩි පවා ඇවිත්. එම මැරයන් අතර උස මහත දෙදෙනෙක්ද හිටියා.

එම මැරයන් තිදෙනා අතින් සහ පයින් මගේ දරුවට පහර දුන්නා. ඔවුන් මගේ දරුවාට පහර දෙන අවස්ථාවේ මා එම මැරයන්ගෙන් ඇහුවා මගේ පුතා කළ වැරැද්ද මොකක්ද කියා. මූ බන්ධනාගාරයේ වීරයෙක් වෙන්න හදනවා කියා එම මැරයන් මට පිළිතුරු දෙමින් පුතාට පහර දුන්නේ යැයි හැඬූ කඳුළින් පැවසීය. එම මැරයන් තිදෙනාගෙන් එක් අයෙකු පුතාට පහර දෙමින් එම අවස්ථා ඡායාරූප සහ වීඩියෝ ගත කරනු ලැබුවා.

එසේ ඡායාරූප සහ වීඩියෝගත කළේ කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයාට පෙන්වීමට යැයි මට හැඟී යනවා. ආරක්ෂක කැමරා පද්ධති මග හරිමින් මැරයන් තිදෙනා එකම යතුරුපැදියකින් අපේ නිවසට ආවේ. පුතා පදිංචි නිවස මීට පෙර නිරීක්ෂණය කර මෙන් අනතුරුව බව ද මට හැඟී යනවා. මෙය සැලසුම්කාරී ක්‍රියාවක් බව පැවසීය.

වැඩිදුරටත් කතා කළ පහරකෑමට ලක්වූ නියාමකවරයා ගේ මව මෙසේ ද පැවසීය.

මගේ පුතා රාජකාරිය හරියට ඉටු කරන කෙනෙක්. රාජකාරිය දේව කාරිය කරගෙන අවංකව සේවය කරන මගේ පුතා වැනි මෙවැනි නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස වගකිවයුතු අයගෙන් මා ඉල්ලා සිටිනවා යැයි පවසා සිටියාය.

පහරකෑමට ලක්වූ බන්ධනාගාර නියාමක සංඛ කුසල් මාරසිංහ නිලධාරියා මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.

මිනුවන්ගොඩ  – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment