පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වුණේ ඇයි?

1084

ඉඩම් බෙදීම ගැන නැවත සිතන්න නැත්නම් ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන් – එල්ලාවල මෙධානන්ද හිමිගෙන් ජනපතිට ලිපියක්

රාජ්‍ය නිලධාරීන් හෑල්ලු කිරීම නොකළ යුතු ක්‍රියාවක්- ගල්ගමුවේ සන්තබෝධි නාහිමි

ලෝක උරුම ආරක්‍ෂාකර දීම ජනපති හා රජයේ වගකීමයි-ඇල්ලේ ගුණවංශ හිමි

ජාතිවාදීන්ට අවශ්‍ය ලෙස රටේ ඉතිහාසය වෙනස් කරන්න දෙන්න බැහැ-මහාචාර්ය නලින් ද සිල්වා

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කර ඇති දැනුම්දීම පිළිබඳව සහ උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථානවල පවතින ඉඩම් නිදහස්කර දෙන ලෙස ඉල්ලමින් දමිළ දේශපාලන පක්‍ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව සහ ඒ පිළිබඳ රජයට කරනු ලබන බලපෑම් පිළිබඳ මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් ‘දිවයින’ ට ඊයේ (13 දා) අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළහ.

මේ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (13 දා) ලිපියක් යොමු කරමින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මෙධානන්ද හිමියන් ඉල්ලා ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙරට ඉඩකඩම් නිදහස් කිරීමට පෙර නැවත ඒ පිළිබඳව සිතා බලන ලෙසත්, එසේ නොවන්නේ නම් එය අනාගතයේදී මෙරට තුළ භයානක තත්ත්වයක් උද්ගත කළ හැකිව පවතින බවත්ය.

උතුරු පළාත් ප්‍රධාන සංඝනායක කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි නාහිමියෝ.

“දමිළ දේශපාලකයන්ගේ ඉල්ලීම් මුළුමනින්ම ජාතිවාදියි. පුරාවස්තු ඇති කිසිම බිමක් කුඹුරු කිරීමට ලබාදීමේ හැකියාවක් නැහැ. ජනපතිවරයා මහා විහාර පිළිබඳ දැනුවත් නැහැ. අනුරාධපුර පූජා නගරය අක්කර දෙදහසකින් සමන්විත වනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ අක්කර සියයක් නෑ කියලා. රාජ්‍ය නිලතලයක් ජාතිවාදීන් ඉදිරියේ හෑල්ලු කිරීම සුදුසු නැහැ. කුරුන්දි විහාරයට හෝ ඒ අවට කිසිම භූමියකට අයිතිවාසිකම් කියන්න දමිළ ජාතිකයන්ට කිසිම පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් නැහැ. මේ බිම්වල අවුරුදු ගණන් වගා කළ අය ඉන්න බවට ඔවුන් කියන්නේ මුසාවාද. කුරුන්දි විහාරයට අයත් හෙක්ටයාර 1200 ක් පමණ මේ වන විටත් කපා දමා තිබෙනවා. මෙය විල්පත්තුව කැපුවාටත් වඩා ජාතික අපරාධයක්. මේ රක්‍ෂිත ගැසට් පත්‍ර මගින් නම්කරලා තිබෙන්නේ 1932 දී. උතුර – නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව කරනු ලැබූ අදාළ සාකච්ඡාවම පදනම් විරහිතයි.“

කොළඹ 07 ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි,

“නැඟෙනහිර පළාතේ පමණක් පුරාවිද්‍යා ස්ථාන හාරසියයක් පමණ පවතිනවා. මේ ස්ථානයන් වෙත දමිළ ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන් අතීතයේ සිටම පහරදීම් සිදුකළා. එවන් තත්ත්වයක් යටතේ ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ තිබෙන බුද්ධාගම පෝෂණය කරනු ලබන බව පසෙක ලා ජාතිවාදී වෛරයෙන් පෙළෙන දමිළ දේශපාලන පිරිසකට ඇහුම්කන් දීමම වැරදි ක්‍රියාවක්. බලය ඇති පිරිසගේ අනුග්‍රහය යටතේ මේ රටේ පුරාවිද්‍යා ස්ථාන ආක්‍රමණය කිරීමක් හැටියට තමයි අපි මෙය දැකිය යුත්තේ. පුරාවිද්‍යා භූමි එක් ජාතියකට පමණක් අයිති නැහැ. ඒවා සියලු ජාතීන්ට අයිති, ලෝක උරුමයන්. මේවා කොටසකට අයිති කර නොදී ආරක්‍ෂා කිරීම තමයි රජයේ සහ ජනපතිවරයාගේ යුතුකම විය යුත්තේ.”

මහාචාර්ය නලින් ද සිල්වා මහතා

“ජාතිවාදී අරමුණු පෙරදැරිව ක්‍රියාකරන දමිළ ජාතිවාදීන්ට අවශ්‍ය ලෙස ඉතිහාසය වෙනස් කරන්න බැහැ. කුරුන්දි පුරාවිද්‍යා බිමේ පුරාවිද්‍යා වපසරිය කුමක් වුවත්, බාරයක් ඔප්පු කිරීම සඳහා මා ද එහි යා යුතුව තිබෙනවා. නමුත් එයට අවසර ගන්න වෙයිද කියා මා දන්නේ නැහැ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා

“උතුර – නැඟෙනහිර පළාත් එකක් කොට සලකන්නට එපා කියූ දමිළ දේශපාලන පක්‍ෂ සමඟ කළ මේ සාකච්ඡාව කිසිම ක්‍රමානුකූලභාවයක් හෝ ව්‍යවස්ථානුකූල පදනමක් නැහැ. ජනපතිවරයාට දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කළ හැකි මුත්, වාර්ගික පදනමින් සාකච්ඡා කළ නොහැකියි. එසේ කළා නම් අපි එය දැඩි ලෙස හෙළා දකිනවා. එවන් සාකච්ඡා ජාතීන් අතර එකමුතුවට වගේම ප්‍රජාතන්ත්‍රවාදයටත් රටේ අනාගතයටත් අසුබවාදියි. මේ සාකච්ඡා නිෂ්චිත පදනමක් නැති රටට හානිකර ක්‍රියාවන් පමණයි. පුරාවිද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන කිසිදු නිලධාරියකුට අයුතු බලපෑම් කළ යුතු නැහැ. විශේෂයෙන් දේශපාලනික බලපෑම්, එය ස්වාධීනත්වයට කළ බලපෑමක්. ඓතිහාසික සාධක මත සිට කටයුතු කරනු ලබන නිලධාරීන්ට බලපෑම් කිරීමට ජනපතිවරයාට හෝ කැබිනට්ටුවට හැකියාවක් නැහැ. ජාතිවාදී දමිළ මන්ත්‍රීවරුන් ඉදිරියේ රජයේ වගකිවයුතු නිලධරයකුට එරෙහිව කටයුතු කිරීම හෝ බලපෑම් කිරීම වැරදි ක්‍රියාවක්. විශේෂයෙන් මෙවැන්නක් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් කිව යුතුයි.”

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පාහියංගල ආනන්ද සාගර හිමි

“ජනාධිපතිවරයාගේ දේශපාලනික උපක්‍රමයන්ට අප හසුවිය යුතු නැහැ. දමිළ ජනතාවට හෝ වෙනත් ජාතියක ජනතාවකට ඉඩම් ලබා දෙනවාට අපි විරුද්ධ නැහැ. නමුත් දමිළ දේශපාලන පක්‍ෂ පුද්ගලයන් සමඟ පමණක් සාකච්ඡා පවත්වා මේ ඓතිහාසික පැවරීම් සිදුකළ නොහැකියි. පර්යේෂක, විශේෂඥ සහ පුරාවිද්‍යා සම්බන්ධ අධ්‍යයන වාර්තා අනුව සාකච්ඡා කර ක්‍රමානුකූලව මේ කටයුතුවලට අතගැසීමට ජනපතිවරයා කටයුතු කළ යුතුව තිබුණා. දමිළ මන්ත්‍රීන්ට මේ සම්බන්ධව ඇති දැනුම අපට ප්‍රශ්නසහගතයි. නිවැරදි පුරාවිද්‍යා සාධක, සාක්‍ෂි සෙවීම වෙනුවෙන් ‘ජෝ පිසිකල්’ පර්යේෂණයක් සිදුකළ යුතුයි. ඒ සඳහා යාපනය, කැලණිය විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා පිළිබඳ ප්‍රාමාණිකයන් සමඟ කටයුතු කර මූලික විමර්ශනයන්ගෙන් පසුව ඉඩම් බෙදීමට යා යුතුයි. එසේ නොකර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුර තබා ගෙදර යන තැනට කටයුතු කිරීමට ජනපතිවරයා ක්‍රියාකර ඇත්නම් ඒ අත්තනෝමතික ක්‍රියාකලාපය අපි දැඩි දේ හෙළා දකින බවත් සඳහන් කළ යුතුයි.”

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment