බළංගොඩ රෝහලේදී මියගිය අයෙකුගේ සිරුර බිරිඳ හා දරුවෝ එපා කියති

887

අනියම් බිරිඳ හා ඇගේ පෙර විවාහයේ දරුවෝ සිරුර භාරගෙන මිහිදන් කරති

බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ රෝගියෙකු මිය යෑමෙන් පසුව මළ සිරුර ඥාතීන්ට භාර දීමට බිරිඳගේ හැඳුනුම්පත හෝ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත් වීම හේතුවෙන් පරීක්ෂණ නිලධාරින්ට සැක මතු වූ හෙයින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට රෝහල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය.

මෙසේ මියගිය පී.ජී. ඩිංගිරි බණ්ඩාර (78) නමැති අයගේ මරණ පරීක්ෂණය මියගොස් දින 8 කට පසුව (15) සිදු කරන ලදී. එහිදී අනාවරණය වූයේ මොහු නිත්‍යානුකූල විවාහයෙන් පසුව දුවරුන් දෙදෙනාගෙන් හා බිරිඳගෙන් වෙන් වී බළන්ගොඩ ඇල්ලේපොල ප්‍රදේශයේ වසර 30ක් ජීවත්ව ඇති බවයි. මොහුගේ මරණය පිළිබඳ පොලිසිය මඟින් විවාහක බිරිඳ දැනුවත් කළ ද මළ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව රෝගියා රෝහලට ඇතුළත් කළ අනියම් බිරිඳ හා ඇගේ පළමු විවාහයේ දරුවන් සමඟ මළ සිරුර භාරගෙන ආගමික වතාවත් සිදුකර බළන්ගොඩ නාගරික සූසාන භූමියේ දී භූමදාන කරනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.ඒ.ආර්.එම්. රත්නායක මහතා විසින් සිදුකළ අතර සාක්ෂි මෙහෙයවීම රෝහල් පොලිසියේ ස්ථානාධිපති පො.සැ. (51280) ජනතාත් මහතා විසින් සිදු කළේය.

මෙම මරණය හෘදය වස්තුව අකර්මන්‍ය වීමෙන් සිදු වූ බවට බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතා තීරණය කළ අතර අනියම් බිරිඳ වූ ඩී.ජි. නන්දාවතී නමැති කාන්තාව යුතුකම ඉටුකිරීම අගය කළ යුතු බව ද පැවසීය.
බළන්ගොඩ එන්.එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment