මිලියන 3100ක් වැයකර ලංවිමට අක්‍රීය  ජෙනරේටර්  50ක් අරන් ! – කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලයි

315

2018, 2019 කාලසීමාවලට අදාළව රුපියල් මිලියන 3100 ක් වැයකර විදුලිජනන යන්ත්‍ර 50 ක් මිලදී ගන්නා අවස්ථාවේදීත් ක්‍රියාකරී තත්ත්වයේ නොතිබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබාදෙන ලෙස කෝපා කමිටුව විසින් පෙරේදා (11 දා) නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්‍ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම ජනන යන්ත්‍ර 50 පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමේදී කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙම ජනන යන්ත්‍ර මිලදී ගන්නාවිට ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතී ඇති බවයි. මේ නිසා මෙම මිලදී ගැනීම්වලදී තත්ත්ව පරීක්‍ෂාවක් සිදුවූවාද යන්න සහ මේ සඳහා විදයම් වූ මිල පිළිබඳව ඔවුහු විමසූහ.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මිලදී ගැනීම්වලදී නිලධාරීන් පරීක්‍ෂාවක් සිදුකොට ඇති බවත් එම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3100 ක් වැය වූ අතර අද වන විට මෙම ජනන යන්ත්‍ර 50 ම ක්‍රියාකාරීව පවතින බවත්ය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්‍රීවරු සඳහන් කළේ මෙම ජනන යන්ත්‍ර මුල්කාලීනව ක්‍රියාත්මක නොවූ බවත් නවීකරණය කිරීමෙන් පසු ක්‍රියාත්මක වන බවත්ය. ඒ අනුව කුමන ආණ්ඩු කාලසීමාවක මිලදී ගත්තද ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින ජනන යන්ත්‍ර මිලදී ගැනීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ද ඔවුහු පැවසූහ.

එසේම ඛඔඛ සමාගම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සතු අයිතිය පිළිබඳවද මෙම සමාගම විගණනය කරන්නේ කවුරුන්ද යන තීරණය ගැනීමේදී රාජ්‍ය විගණනයෙන් ඉවත්වීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ද කෝප් කමිටු සභාපතිවරයා විසින් මෙහිදී විමසන ලදී. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සමාගමේ කොටස්වලින් 63% ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවන බවයි. ඒ අනුව වැඩිම කොටස් ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමිව තිබියදී තාක්ෂණික කරුණක් මත මෙම ආයතනය රාජ්‍ය විගණනයෙන් ඉවත්කොට ඇති බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් මේ පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත කෝප් කමිටුවට ලබාදීමට හෙතෙම නිර්දේශ කළේය. මෙහිදී විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සති දෙකක් ඇතුළත මෙය විසඳීමට කටයුතු කරන බව පැවසීය.

තවද ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙම බලාගාරයේ විදුලිය මිලදී ගැනීමේදී නව ගිවිසුම්වලට එළඹීම පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා ප්‍රශ්න කළේය. පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු විසින් ද විදුලිය මිලදී ගැනීමට නව ගිවිසුමක් සකස් කිරීමේදී මිල ගණන් තීරණය කිරීම සිදුවන ආකාරය පිළිබඳව විමසන ලදී. මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් නොලැබුණු අතර මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

එසේම දිගුකාලීන ජනන සැලැස්ම පිළිබඳවද සාකච්ඡා වූ අතර මෙහිදී සඳහන් වූයේ 2022 – 2041 වර්ෂ සඳහා සකසා ඇති නව ජනන සැලැස්ම පිළිබඳ තොරතරු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලැබී නැති බවයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ 2018 – 2037 වර්ෂ සඳහා සකස් කළ ජනන සැළසුමට අදාළ තොරතුරු බව මෙහිදී සඳහන් විය. මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ හැකි ඉක්මනින් අනුමැතිය ලැබී ඇති නව ජනන සැලැස්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසයි. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 2019 ට පෙර පැවැති ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ජුනර්ජනනීය බලශක්තිය 50% සපුරාලීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නද නව රජය බලයට පත්වීමත් සමඟ පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාව 70% ක් ලෙස පෙන්වා දුන් බවයි. ඒ අනුව නව ජනන සැලැස්ම සකස් කළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා දේශපාලන අධිකාරිය වෙනස්වීම මත ප්‍රතිපත්ති වෙනස් වුවද ජනන සැලැස්ම වෙනස් නොවී පවත්වාගෙන යෑම වැදගත් වන බව පැවසීය. මීට අමතරව ඉන්දියාවේ ‘අදානි’ සමාගම එළැඹී ඇති අවබෝධතා ගිවිසුම පිළිබඳවද ඒ සඳහා සිදුකරන ශක්‍යතා අධ්‍යයනය පිළිබඳව ද, හදිසි බලශක්ති මිලදී ගැනීම් පිළිබඳව ද පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා තැන්පතු සඳහා පොලිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවුෆ් හකීම් (ආචාර්ය), නාලක ගොඩහේවා, ජගත් පුෂ්පකුමාර, ඩී. වී. චානක, නලීන් බණ්ඩාර, ප්‍රේම්නාත් සී. දොළවත්ත, මධුර විතානගේ සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගි වූහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment