යුගදනව් නොදොව්

220

* මේ මොහොතේ රටේ ජනතාව විඳින දුක ගැන සිතා ආණ්ඩුවට කල්දෙනවා

* මේක හොර ගිවිසුමක්

* ඒත් විසඳුමක් නැත්නම් වර්ජනය ස්ථිරයි – වෘත්තීය සමිති

යුගදනව් නොදොව්

කෙරවලපිටිය ‘යුගදනවි’ බලාගාරයේ සියයට හතළිහක කොටස් සහ එල්. එන්. ජී. ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීම ඇතුළු ජාතික සම්පත් බදු දීමට රජය ගෙන යන කි‍්‍රයාමාර්ග හකුළා ගන්නා ලෙස බලකරමින් විදුලිය, තෙල්, වරාය සේවකයෝ ඊයේ (03 දා) දහවල් දැඩි විරෝධතාවක් දැක්වූහ.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව විදුලිය, තෙල්, වරාය ඒකාබද්ධ සන්ධානය විසින් මේ වනවිට වැඩ වර්ජනය කිරීම සඳහා තීරණය කර තිබෙන බවත් තෙල්, ගෑස්, කිරිපිටි, සීනිි, සිමෙන්ති පෝලිම්වල සිටින ජනතාව තවත් අසරණතාවයකට පත් කළ නොහැකි නිසා වැඩ වර්ජන තීරණය දින කිහිපයක් පසුපසට ගැනීමට තීරණය කළ බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ඊයේ (03 දා) විදුලි විරෝධතාවට එක්වෙමින් පැවසීය.

යුගදනව් නොදොව්

විදුලිබල මණ්ඩලයේ විරෝධතාවය කොළඹ විදුලිබල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලය අසල ද, තෙල් සංස්ථා විරෝධතාවය කොළොන්නාව සහ සපුගස්කන්ද කාර්යාල ඉදිරිපිට ද, වරාය විරෝධතාවය විමලධර්ම ඔර්ලෝසු කණුව අසල ද, ඊයේ (03 දා) දහවල් පැවැත්විණි. මෙම විරෝධතා හේතුවෙන් ඒ අවට මාර්ග තදබදයක් ද ඇති වී තිබිණි.

මෙම විරෝධතාවයේදී ලංකා විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මෙසේද පැවසීය.

මේ විරෝධතාවය පවත්වන්නේ වැටුප් වැඩිවීමක් හෝ වෙනත් වරප‍්‍රසාද ඉල්ලලා නොවෙයි. රජය මේ විරෝධතාවය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් ලෙස හඳුන්වා තිබුණත් අපි විරෝධතාවයේ නිරතවන්නේ රටේ ජාතික සම්පත් ආරක්‍ෂා කර ගැනීම සඳහායි. මේ උද්ඝෝෂණය වැජ වර්ජනයක් ලෙස රජයේ පාර්ශ්ව පෙන්වා දී තිබුණත් අපි වැඩ වර්ජනය කිරීමට තීරණයක් ගෙන තිබුණත් එය සිදුනොකර තව ටික දිනක් ආණ්ඩුවට අවස්ථාව ලබාදෙනවා.

මේ විරෝධතාවය නැවැත්වීම සඳහා රජයේ පාර්ශ්ව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියත් අධිකරණයෙන් එයට අවස්ථාව ලබා දුන්නේ නැහැ. දැනට රටේ අධිකරණය පමණයි ස්වාධීනව තියෙන්නේ. එයට අපි ගරුකරනවා. රටේ තෙල්, වරාය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ගැසට් ගැහුවත් විදුලිබල මණ්ඩලය එයට ඇතුළත් කර තිබුණේ නැහැ. මෙය ඇතැම්විට විදුලිබල මණ්ඩලය් මේ රටේ පාලනයෙන් ඉවත් කර වෙනත් රටකට ලබාදීම නිසා සිදුවී ඇති ද කියා අපි දන්නේ නැහැ.

අපි මේ විරෝධතාවට සහයක් ලබාදෙන ලෙස දැනට විරෝධතා දක්වා ඇති විමල් වීරවංශ සහ ගම්මන්පිල ඇමැතිවරුන්ගෙන් ඇමැතිකම්වලින් එළියට පැමිණ අරගල කරන්න කියා ඉල්ලා සිටිනවා. ඒ වගේම එම ප‍්‍රකාශ අධිකරණයට ගොස් ප‍්‍රකාශ කරන්න කියලත් ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් විදුලි බිඳවැටීමක් සිදුවුවහොත් එයටත් රජය වගකිව යුතුයි කියා අපි කියනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා-

විදුලි ඉංජිනේරුවන් 1996 පැය 72ක විදුලි වර්ජනයට පසුවයි මෙවැනි විරෝධතාවක නිරතවන්නේ. මේක සාමකාමී උද්ඝෝෂණයක්. ඇමරිකානු සමාගම සමග අත්සන් කළ ගිවිසුම අන්ත ¥ෂිත ගිවිසුමක්. මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම තුළින් ජාත්‍යන්තර සමාගම් අපේ රට ගැන විශ්වාසයක් නැති වෙනවා.

මේ ගිවිසුම තුළින් බලශක්තියට පමණක් නොවෙයි රටේ ජාතික ආරක්‍ෂාවටත් බලපෑමක් එල්ල වෙනවා. මේ ගිවිසුමට අත්සන් කළේ මේ ගිවිසුම අත්සන් කරන්නට පත්වීම ලබපු අයයි. මුදල් අමාත්‍යාංශය කියන්නේ ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය නිවැරැුදිව කරන ආයතනයක්. අද එවැනි ආයතනත් නීති විරෝධී ගිවිසුම් අත්සන් කරන තැනට පත්වෙලා තිබීම ගැන අපි කනගාටු වෙනවා. මේ නිව් පෝටර් සමාගම ඇමරිකාවේ බලගතු සමාගමක් නොවෙයි. බංකොළොත් වෙමින් යන සමාගමක්. අවුරුදු දෙකකට අත්සන් කළා කිව්වාට මෙහි අයිතිය සදාකල් වෙන්න පුළුවන්.

මෙහිදී තවත් විදුලි වෘත්තීය සමිති කිහිපයකම නියෝජිතයෝ අදහස් දැක්වූහ. මීට සමගාමීව තෙල් සහ වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ ද එම ආයතන ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරවලදී අදහස් දක්වා සිටියහ.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්, ප‍්‍රදීප් ජයසේකර – මධ්‍යම කොළඹ

advertistmentadvertistment
advertistmentadvertistment