ලක්‍ෂ 600 ක කුෂ් මත්ද්‍රව්‍ය කන්ටේනරයකින් හමුවීම – භාණ්ඩ බෙදාහරින සමාගමේ හිමිකරුවකු ඇතුළු 3 ක් 22 දක්වා රඳවා ගන්න අවසර

214

කැනඩාවේ සිට ශ්‍රී ලාංකිකයකු වෙත එවන ලද රෙදිපිළි අඩංගු කන්ටේනරයක සඟවා රුපියල් ලක්‍ෂ 600 ක් පමණ වටිනා කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ හයක් එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ආනයන භාණ්ඩ බෙදාහැරීමේ සමාගමක හිමිකරුවකු හා ඔහුගේ සේවකයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ලබන 22 වැනිදා දක්වා රඳවා තබාගෙන විමර්ශන කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නේය.

අත්අඩංගුවට ගත්තේ යැයි කියන එම සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවට විමර්ශන නිලධාරීන් විත්තියේ නීතිඥවරුන්ට දන්වා තිබියදීත්, අධිකරණයට ඉදිරිපත් නොකර විත්තියේ නීතිඥවරුන්ගේ හා අධිකරණයේ කාලය නිකරුණේ වැය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර නිසි පියවර ගන්නා ලෙස දන්වා පොලිස්පතිවරයා වෙත අවධානය යොමුකරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

සිය සේවාදායකයා වසර 20 කට අධික කාලයක් විදේශ රටවල සිට ආනයනය කරනු ලබන භාණ්ඩ අදාළ පුද්ගලයන් හා ආයතන වෙත බෙදාහරිනු ලබන ආයතනයක් පවත්වාගෙන යනු ලබන බවත්, රෙදිපිළි තොගයක් එවන බවට ලැබුණු තොරතුරු අනුව ඒවා ලබාදීමට ගිය නමුත් එහි මත්ද්‍රව්‍ය සඟවා ඇති බවක් නොදන්නා බවත් එක්ස්ප්‍රස් කාගෝ පුද්ගලික සමාගමේ හිමිකාර එස්. රාමචන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා අධිකරණයට පැවසීය.

පළමුවන සැකකරු එම සමාගමේ සේවකයකු බවත් තුන්වන සැකකරු නමට එම භාණ්ඩ එවා ඇතත් ඔහු ඒ පිළිබඳ කිසිම දෙයක් දැනුවත් නොමැති බවත් පළමු හා තෙවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධම්මික රත්නායක මහතා අධිකරණයට පැවසීය.

කෙසේ නමුත් විමර්ශන නිලධාරීන්ට විමර්ශන අවසන් කිරීමට කාලය ලබාදිය යුතු බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන්කොට වාර්තා කරන ලෙසට නියෝග කරමින් එම අවසරය ලබා දුන්නේය. නීතිඥ චරිතා මදුවන්ති සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා සහ නීතිඥ ධම්මික රත්නායක යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment