ව්‍යාජ ස්ටිකර් වංචාවට හසුවූ සමාගම් මිලියන 6000 ට වැඩිය බදු පැහැර හැරලා

113

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතළ වැරදිවලට උපරිම දඬුවම් පැමිණවිම වෙනුවට සුළු දඩ මුදලක් යටතේ අදාළ වරද සමථ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රමවේදය අහෝසි කර ව්‍යාජ ස්ටිකර් භාවිතය, බදු මුදල් වංචා ඇතුළු චේතනාන්විත වැරදි සිදුකරන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීම වැනි උපරිම දඬුවම් පැමිණවිය යුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබ තිබේ. එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දෙමින් සඳහන් කරනු ලැබුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හරහා පාර්ලිමේන්තුවට පනතක් යොමුකර සුරාබදු දෙපාර්තමේන්තු ආඥා පනතේ ඇති මෙම සමථකරණය නම් වූ ක්‍රමවේදය අහෝසි කරන්නට කටයුතු කරන ලෙසයි. ඔහු මේ නියෝගය ලබාදුන්නේ පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව අමතමිනි.

මත්පැන් බෝතල් මත ව්‍යාජ ස්ටිකර් අලවීම සම්බන්ධ වැරදිකරුවන් වූ සමාගම්වලට ලබාදුන් දඬුවම පිළිබඳ සාකච්ඡාවේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය ලබා දුන්නේය. එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ව්‍යාජ ස්ටිකර් වරදට හසුවූ සමාගම් විසින් මේ දක්වා රුපියල් මිලියන 6666 ක බදු ගෙවීම ද පැහැර හැර ඇති බවයි. එවැනි බරපතළ වැරදි සිදුකරන සමාගම් ව්‍යාජ ස්ටිකර් මුද්‍රණයට වැරදිකරුවන් වූ පසු ඔවුන්ගේ සුරා බලපත්‍ර අහෝසි නොකරන්නේ මන්ද යන පැනයට පිළිතුරු දෙමින් සුරාබදු දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කළේ බලපත්‍ර අහෝසි කිරීම සිදු කළ හැකිව තිබුණ ද සිය පනතේ ඇති සමථකරණය නම් වූ ක්‍රමවේදය හරහා දඩ මුදලකට යටත්ව ඔවුන් නිදහස් කළ හැකි නිසා එම ක්‍රමවේදය අනුගමනය කළ බවයි.

සුරක්ෂිතභාවය ආරක්ෂා කළ යුතු ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණයක් සිදුවීම හරහා දිගින් දිගටම ගිවිසුම් කොන්දේසි කඩකරන ආරක්ෂිත මත්පැන් ස්ටිකර් මුද්‍රණ කටයුතු සිදුකරන ඉන්දියානු සමාගමේ ටෙන්ඩරය අවලංගු කිරීමට හේතු විශාල ප්‍රමාණයක් ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට එහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment