උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙත් අණ්ඩර!

242

මේ දිනවල මුළු රටේත් බහුතර ජනතාවගේත් දැඩි අවධානයට ලක් වී තිබෙන, මොහොතින් මොහොත උණුසුම් වන කාලගුණයටත් වඩා වැඩි වේගයකින් වෙනස් වන හා උණුසුම් වන දෙයක් වේ නම් ඒ දේශපාලනයයි. කාලගුණයේ සිදුවන වෙනස හා උණුසුම මොන ක්‍රමයකින් හෝ සමනය කරගත හැකි වුවත් මේ දේශපාලන විපර්යාසවලට නම් ලේසි පහසු විසඳුම් නැති බව ද පෙනී යයි. පීඩනයට පත් ජනතාවත් ඔවුන්ගේ අපේක්‍ෂා භංගත්වයත් සමගම කැකෑරෙන දේශපාලනයේ සිදුවීම් පෙළ ප්‍රබුද්ධ පුරවැසියන්ගේ මෙන්ම පොදු ජනතාවගේ ද දැඩි කෝපයටත් අප්‍රසාදයටත් හේතු වන බව ද නිසැකය. මොන අතින් බැලුවත් ඒ හැම ක්‍රියාවකම අනිසි ඵල භුක්ති විඳීමට සිදුව ඇත්තේ ද ජනතාවටය. දේශපාලනඥයන් පමණක් නොව වරප්‍රසාද සහිත ඇතැම් වෘත්තිකයන්ට ද රිසි රිසි පරිදි තමන්ගේ පිඟන්වලට අසාධාරණ ලෙස බෙදාගැනීමේ අශෝබන යැයි කිව හැකි සිරිත් ද දැන් ජනතාවටම දැක බලා ගත හැකි වී තිබේ. පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු සේවකයන්ගේ අහසට ගිය වැටුප් වැඩිවීම ඉන් වඩාත් කුප්‍රකට සිද්ධියකි.

උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙත් අණ්ඩර!

මහ බැංකුවේ නිල බල විසින් සිය අභිමතය පරිදි ලක්‍ෂ ගණනින් වැටුප් වැඩි කර ගැනීම සාධාරණීකරණය කිරීමට ද විවිධ තර්ක හා න්‍යාය ඉදිරිපත් කළ ආකාරය ද අපි දිටිමු. මහ බැංකුව යනු එසේ මෙසේ අඩු තක්සේරුවක් කළ යුතු ආයතනයක් නොව විශේෂඥභාවයෙන්ද දූරදර්ශී ගුණයෙන්ද පරිපූර්ණ මේ ශ්‍රී ලංකා ආර්ථිකයේම මෙහෙයුම් බර උර දරා ගෙන සිටින එකම ආයතනය බව ඒ වැටුප් වැඩිවීම මැනවයි පිළිගන්නා නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන්ගේ පැහැදිලි කිරීමේ හරය විය.

එහෙත් රටේ සමස්ත ආර්ථිකයම බිඳවැටී ජනතාව බදු බරින් තුන් කුදුවී සිටින පසුබිමක, රජයේ වියහියදම් අවම කර ගැනීමට චක්‍රලේඛ නිකුත්කරන ආයතනය වන මහ බැංකුව පමණක් එබඳු සුවිශේෂ ප්‍රතිලාභ භුක්තිවිඳීම සදාචාර විරෝධී මෙන්ම අමානුෂික බව ද ඒ ක්‍රියාදාමයට එරෙහි වූ පාර්ශ්වයන්ගේ විවේචනයෙහි හරයයි. මේ හැරුණු විට මහ බැංකුව ස්වාධීන ආයතනයක් වීම නිසා ඒ වැටුප් වැඩි කිරීම ආණ්ඩුවට නැවැත්විය නොහැකි බවක් ද කියති. කුමක් වුවත් මහ බැංකුව යනු එහි නිලධාරීන්ගේ කොටස් මුදල් හා ප්‍රාග්ධනයක් සහිත සීමාසහිත ව්‍යාපාරය කැයි පිළිගැනීමට මෙරටේ අන්තිම මෝඩ යැයි කිව හැකි මිනිසෙක්වත් සූදානම් නැත යනු අපගේ අදහසයි.

විපක්‍ෂයේ දැඩි විරෝධතා මැද සම්මත කළ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභිමතය පරිදි ඉදිරිපත් කළ බව පැහැදිලිය. ඒ පනත අනුව භාණ්ඩාගාර ලේකම්ට පවා කිසිදු නිල බලයක් නැත. මහ බැංකුව දේශපාලන මැදිහත්වීම් නැති ස්වාධීන ආයතනයක් කිරීම ප්‍රශස්ත ක්‍රියාවකි. එහෙත් මේ ස්වාධීනත්වය ආණ්ඩුවටත් උඩින් තිබෙන බලයක් විය යුතුද? එය හිතුවක්කාර අභිමතයක්ද? යන ප්‍රශ්න විපක්‍ෂ පවා මතුකර තිබුණි. කුමක් වුවත් මහ බැංකුවත් විශේෂඥයනුත් සුරැකීමට ඒසා ආකර්ෂණීය වැටුප් පිරිනැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි යන්න පිළිගත හැකිද? විශේෂඥභාවය, වෘත්තීය නිපුණතාව ඇතුළු සාධනීය කරුණු අනෙක් ක්‍ෂෙත්‍රවලට ද අදාළ බව මහ බැංකු අධිපතියෝ වටහා ගත යුතු වෙති. නිර්වින්දන වෛiවරයෙක් විශේෂඥ ශල්‍ය වෛiවරයෙක් නොමැතිව රෝහල් වැසී යන රටකි මේ. අද ක්‍රමයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ද කියති. මහ බැංකුව ඒ ආර්ථික ප්‍රතිලාභ තනිව භුක්ති විඳින්නේ ද යන ප්‍රශ්නය ද මෙහිදී මතු වේ.

මහ බැංකුවට අමතරව ජනතාවගේ මුදලින් අනිසි ලෙස ප්‍රතිලාභ භුක්තිවිඳින තවත් ආයතන ද ඇත. දින කීපයකට පෙර විදුලිබල ඇමැතිවරයා විසින් අනාවරණය කරන ලද්දේ කිසිදු අනුමැතියකින් තොරව දීමනා ලබාගත් විදුලිබල නිලධාරීන්ගේ හපන්කමකි. වෙනකක් තබා ඔවුන්ගේ ණය මුදල්වල පොලිය පවා මහජන මුදලින් ගෙවූ බවක් ද කියනු ඇසුණි. අද වනවිට විදුලි බිල දරාගත නොහැකිව විඳවන විශාල පිරිසක් ද සිටිති. විදුලි බිල් ගෙවීමේදී නීතිය හරියටම ක්‍රියාත්මක වන්නේ ජනතාවට පමණි. නාමල්ලාට ඔවුන්ගේ සමීපතමයන්ට පමණක් නොව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට හා වරප්‍රසාද සහිත කොටස්වලට ලැබෙන ප්‍රතිලාභ, හිමිකම් කෙබඳු දැයි අමුතුවෙන් කිව යුතු නැත. නීතිය හා සාමය යනු දේශපාලන බලපුළුවන්කාරකම් අනුව හිමිවන රටක මහ බැංකුව ස්වාධීන වූ පමණින් ජනතාවට දැනෙන වෙනසක් සිදුවිය හැකිද? මෙරටේ ජාතික ආදායමෙන් 45%ක් පමණ භුක්ති විඳින්නේ ඉහළ ධනවතුන් වන 100%ක් පමණ පිරිසක් බවද කියති. පහළම තලයට වැටෙන 20%කට ඇත්තේ 15%ක් තරම් සොච්චමකි.

මේ ආර්ථික විෂමතාව ගැන අපේ ආර්ථික ස්වාධීන විශේෂඥ මොළවල අදහස කුමක්ද? අදත් සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් හා ප්‍රතිලාභ අහිමි ජන කොටස් කොපමණ සිටිත්ද? විශ්වවිiාල අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා කරන ආණ්ඩුව මෙරටේ උපාධිධාරීන්ගේ සැබෑ ඉරණම දන්නේද යන්නත් සැකය. දින කීපයකට පෙර පුවත්පතක මුල් පිටුවේම වාර්තා කර තිබුණේ රෑ පැල් රකින ජීවත්වීමට කඩයප්පම් හදා විකුණන මවකගේ දුක්මුසු පුවතකි. ඒ අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේය. ඇගේ නම චතුරිකා දර්ශනී විපුලසේන බව ද සඳහන් වී තිබිණි. ස්වයං රැකියා හෝ ගොවිතැන බාල රැකියා නොවේ. එහෙත් උපාධියක් දිනා රෑට රූස්ස ගසක පැල් රැකීමට සිදුවන අධ්‍යාපනය ගැන කිව හැක්කේ කුමක්ද?

මේ අප සඳහන් කළේ තවමත් දියසේන කුමාරයන් ලෙස හෝ මහතීර් මොහමඩ්, ලී ක්වාන් යූ, නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට දේශපාලන භූමිකා සමග සැසඳූ කිසිවකුට වෙනසක් කළ නොහැකි වූ සමාජයක යථාර්ථයෙන් බින්දු මාත්‍රයකි. ඔවුන්ට අමතරව රටේ බහුතර ජනතාවක් ඇන්දවූ දේශපාලන විකටයන් වහලුන් හා අමන දූෂිත චෞර නඩවල ද අඩුවක් නැති රටකි මේ.

අපි දැන් මේ සතිය උණුසුම් කළ ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරකම් කීපයෙන් එකක් දෙකක් වෙත අවධානය යොමු කරමු. මෙම තීරයෙන් මෙයට පෙර අවස්ථා කීපයකදීත් අද තිබෙන දේශපාලන වෙනස්වීම් හා ව්‍යවස්ථාමය අර්බුද ගැන ද පෙන්වා දී ඇත්තෙමු. සමස්තයක් ලෙස මේ වසරේ පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන ජනාධිපතිවරණ සූදානමක් අබියස උද්ගත වන දේශපාලන කැළඹීම් නිසැකයෙන්ම අපේ දේශපාලන සංස්කෘතික දරිද්‍රතාව පිළිබඳ අනතුරු ඇඟවීමක් ද වේ. මේ පවතින දේශපාලන චර්යාව තුළින් ජනතා අපේක්‍ෂාවන් භංගත්වයට පත්වී ඇතැයි ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උද්දික ප්‍රේමරත්නය. ඔහුට මන්ත්‍රීකම එපාවීමේ සත්‍යය හා යථාර්ථය ඔහු කරන ප්‍රකාශය අනුව පිළිගත් විට අපට එළඹිය හැකි එකම දෙය මේ ජරපත් ක්‍රමය තවදුරටත් නඩත්තු නොකළ යුතු බවය. ඔහුට පෙර ස.ජ.බයේ සිටි චමින්ද විජේසිරිටත් මන්ත්‍රීකම එපා වී අස්විය. මෙසේ මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව පිරවෙන්නේ ජනතාව විසින් තෝරා නොගන්නා ලද එහෙත් එම පක්‍ෂයේ ලැයිස්තුවේ අයෙකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ හරයට පිටුපෑමක් ලෙස සමහරු දකිති. මහජන විනිශ්චයෙන් ප්‍රතික්ෂේප වූ අයෙක් යළිත් තෝරා ගැනීම ව්‍යවස්ථාව අනුමත කර තිබෙන දුබලතාවක් බවට ද විවේචනයක් ඇත. ආචාර්ය ඇන් ඇම්. පෙරේරා පෙන්වා දී ඇත්තේ ද මහ මැතිවරණයකින් පසු ඡන්දදායකයාගේ තීරණාත්මක අභිප්‍රායන් වෙනස් විය හැකි බවය. විධායක බලය අහෝසි කළ යුතු යැයි මොර දෙන කිසිවෙක් මේ ව්‍යවස්ථානුකූල මගඩි ගැන කථා කරත්ද?

මේ සතිය උණුසුම් කළ තවත් ව්‍යවස්ථාමය අර්බුදයක් ගැන ද දේශපාලන සංවාදයක් ගොඩනැගී ඇත. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ විසින් නගන ලද චෝදනාවකි. කතානායකවරයා කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත්, ඔහු අනීතික ලෙස ක්‍රියාකර ඇති බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ. විශේෂයෙන් නොබෝදා සිදුවූ පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් ඔහු ව්‍යවස්ථා සභාවේදී ඡන්දය දීම වැරදි බව විපක්‍ෂවල පොදු පිළිගැනීම වී තිබේ.

ස.ජ.බ. මූලිකත්වයෙන් කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කෙරෙන අතර එයට ජ.ජ.බ හා ඩලස්, විමල් කණ්ඩායම්වල ද ශ්‍රී.ල.නි.පයේ ද එකඟතාව පළවී ඇත. කථානායකවරයා විසින් අත්සන් කරන ලද ‘ඔන්ලයින් පනත’ පිළිබඳව ද විපක්‍ෂය විරෝධය දක්වා තිබේ. පාර්ලිමේන්තුවේ කථානායක යනු ස්වාධීන පුද්ගලයකු ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා කැපවූ අයකු ලෙසත් පොදු පිළිගැනීමක් ඇත. ඒ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය බිඳ දමා මේ ආණ්ඩුවට අවශ්‍ය දේශපාලන මෙහෙයුම්වලට කථානායකවරයාගේ අනුග්‍රහය ලැබෙන බව ඔවුන්ගේ විවෘත චෝදනාවය.

ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වාදෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවේචන මෙන්ම ප්‍රතිචාර ද දැන් සෑහෙන කලක සිට අපට ඇසෙන අප දකින යම් ප්‍රමාණයක නිෂ්ඵල මාතෘකාවක් ද වී තිබේ. ඇත්තටම මේ වනවිට සංශෝධන විසි එකක් එල්ලා තිබෙන එම ව්‍යවස්ථාව මොන තරම් හබල් බබල් එකක්ද? එය ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි විශිෂ්ට මූලධර්මවල හරයට සරදම් කරන ඒකාධිපති වියරුවක ගර්ජනයක් වැන්න. දේශබන්දු පොලිස්පතිවීම මෙන්ම රනිල් ජනාධිපතිවීම ඒ ව්‍යවස්ථාව අනුව සිදුවූ බව පිළිගන්නා අතර එයට එකඟ නොවන පිරිස් ද සිටිති. මේ අර්බුදවලට හේතුව ඒ මත ගැටුමය. ජනාධිපති රනිල්ට ජනවරමක් නැතැයි කීවත් ඔහු මෙරටේ ව්‍යවස්ථානුකූලව එම ධුරයට පත් වූවෙකි.

උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙත් අණ්ඩර!

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික කඩා වැටීමකට ලක්වූ අඳුරු යුගයක රට ඉන් මුදාගැනීමේ අභියෝගයට උර දුන් නායකයා ලෙස වත්මන් ජනාධිපති රනිල්ට පිළිගැනීමක් ඇත. මෙරටේ දසක දෙක තුනක්ම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටි රනිල්ට විධායක පුටුව හිමිවූ ආකාරය පිළිබඳ කෙබඳු අර්ථ දැක්වීම් තිබුණත් එය නිත්‍යානුකූල එකකි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔහු ක්‍රියාකරන ආකාරයයි. ඔහු අමුතු බලයක් ආරෝපණය කරගෙන ඇත යන්න විවේචනයක් පමණි. ඔහු එම ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන බව පිළිගත යුතුය. එහෙත් ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ලෙස ක්‍රියාකරන ආකාරය ගැටලු සහගතය. ඔහු එදා පෙනී සිටි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සැලසුම් අද අමතක කිරීම ගැන විවේචන තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුලා දැමීමටත්, මැතිවරණ අහෝසි කිරීමටත් ඔහු මුල් විය.

අපේ ආණඩුක්‍රමයෙහි අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුගේ භූමිකාව පැහැදිලිව දක්වා නැත. දේශපාලන පක්‍ෂයකට ලැබෙන ජනවරම අනුව නැතහොත් මැන්ඩේට් එක ක්‍රියාත්මක කිරීම අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුගෙන් අපේක්‍ෂා කෙරේ. එහෙත් ජනාධිපති රනිල්ගේ භූමිකාව මෙයට පෙර එම අනුප්‍රාප්තික ජනාධිපති ධුරය හෙබවූ ඩී. බී. විජේතුංග යුගය සමග සංසඳා බලන විට ඒ වෙනස ඉතා පැහැදිලිව දැක ගත හැකිය. විජේතුංග ජනාධිපතිවරයා රටේ සිටින බවක් වත් නොදැනුණු තරම්ය. එහෙත් ජනාධිපති රනිල් අද අතිශය විවාදාත්මක ජනාධිපතිවරයකු බවට පත්ව සිටියි. අනෙක් අතට ඔහු එම ධුරය හොබවන්නේ ලක්‍ෂ 69 ජනවරම අනුමත කළ ‘සෞභාග්‍ය දැක්ම’ අනුවය. එහෙත් ජනාධිපති රනිල් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයක දීවත් ඒ යෙදුමවත් පාවිච්චි නොකළ බව අපගේ මතකයයි.

අද විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් හා අර්බුද පවා මතුවී තිබේ. ව්‍යවස්ථා සභාව පිළිබඳ ඔහුගේ පිළිගැනීම විවාදයට තුඩු දුන්නකි. ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් ලෙස සිතීමට ජනාධිපති රනිල් එඩිතර වී ඇත. 21වැනි සංශෝධනයේ සීමාවන් ද ඔහු නොතකන බව සමහරු කියති. ඔහු වඩාත් සමීප වන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ශෛලියට බව අපට ද හැඟී ගිය අවස්ථා තිබේ. මේ චෝදනාව නීති අංශවලින් පවා නැගෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ඔහු නොතකන බව ස.ජ.බය පවා පවසන කතාවකි. ඇත්තටම ඔහු සියලු බලතල අතට ගත් අධිපතිවාදී මනසකින් ක්‍රියා කරන්නෙහිද? ව්‍යවස්ථාදායකය පවා තම අණසකට යටත් විය යුතු යැයි සිතන්නෙහිද?

කෙසේ වුවත් මේ වනවිට පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවලදී විධායකයේ ක්‍රියාකාරකම් අභිලාෂයන් විවේචනයට භාජන වන බව ද පෙනේ. ආණ්ඩුවේ පෞද්ගලිකකරණ න්‍යායපත්‍රය පොහොට්ටුව බැහැර කරන බව නාමල්, ගාමිණි ලොකුගේ වැනි අය මාධ්‍යවලට ද පවසති. ජනාධිපතිවරයා අගමැතිව සිටි යහපාලන ආණ්ඩුව ගැන ද පසුගිය දිනක පොහොට්ටුව විවේචනය කර තිබුණි. මේ වනවිට පොහොට්ටුව තුළ ද රනිල්ට පක්‍ෂව හා විපක්‍ෂව බෙදීමක ලකුණු පෙනේ. එහි තේරුම මේ දේශපාලනය උඩින් ගින්දර – යටින් ගින්දර මැද්දේ අණ්ඩර යන්නක්ද? ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් නොකර පොහොට්ටුව වටේ යද්දී ජනාධිපති රනිල් ද එයට ඍජු පිළිතුරක් දී නැත. මේ අනුව ජනාධිපති රනිල්ට අලුත් දේශපාලන ගමනක් යාමට පොහොට්ටුව ආශිර්වාද කරනු ඇද්ද යන්නත් තවමත් අවිනිශ්චිතය. එදා රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීමට එකඅ්වූ සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සංවිධාන, චන්ද්‍රිකා, රනිල් මෙන්ම චම්පික ඇතුළු බොහෝ දෙනෙක් අද දේශපාලන වසයෙන් ද සිටින්නේ අවුල් ගොඩකය. මහින්දට එරෙහිව ඉදිරිපත් කළ මෛත්‍රිපාල වර්ගයේ චරිතයක්ද අද සොයාගත නොහැකිය. මෛත්‍රී ජනාධිපති සටන ජයගත් ආකාරයට එබඳු මෙහෙයුමකට උචිත අයෙක් ද නැත. අද රාජපක්‍ෂ රනිල් එකම කඳවුරකය. චන්ද්‍රිකා තෝරාගන්නේද රනිල් විය හැකිය. මහින්ද, චන්ද්‍රිකා, රනිල් පසමිතුරුකම් අමතක කර මේ පවතින දේශපාලන ප්‍රභූ තන්ත්‍රය රැක ගැනීමට ඔවුන්ට සිදුවී තිබේ.

ජනාධිපතිවරණ සටන සඳහා පොහොට්ටුව සමග හෝ තනිව හෝ රනිල් ඉදිරිපත් වුවත් ඔහුට ස.ජ.බ. සජිත් හා ජා.ජ.බ. අනුර කුමාර අභිබවා යා හැකිද? ආණ්ඩුව නියෝජනය කරන රනිල්ට හෝ පොහොට්ටු අපේක්‍ෂකයාට මේ දේශපාලන වාතාවරණය තුළ හිමි විය හැක්කේ තුන්වන ස්ථානයයි. විශාල පෙරළියකින් හෝ ස.ජ.බ. සහයෝගයකින් රනිල්ට ඉදිරියට යා හැකි යැයි මොහොතකට සිතිය හැකි වුවත් එය සිහිනයක් පමණි. කොහොමටත් ජනාධිපතිවරණ සටනේ තුන්වැනියා ලෙස පරාජයට පත්වීමට නම් ජනාධිපති රනිල් කිසිසේත් රිසි නොවනු ඇත. ජනාධිපතිවරණය මඟහැර මහ මැතිවරණයක් කැඳවීම කෙරෙහි ජනාධිපති රනිල් පෙළඹෙනු ඇතැයි සමහරුන් කල්පනා කරන්නේද මේ පසුබිම තුළය. එහෙත් දැනට තිබෙන සැලසුම් හා ප්‍රතිචාර අනුව ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්වෙනු ඇතැයි සිතීම වඩාත් නිවැරදිය.දකුණේ දේශපාලනයේ කුණුවීමත්, ජනතාවගේ අප්‍රසාදය ඒ බහුතරයකට එල්ලවීමත් නිසා එළඹෙන මහ මැතිවරණයකදී වුවද පවතින ක්‍රමයට ඉදිරියට යා නොහැකි බව ද ඉතා පැහැදිලිය. වැලි, පස් ජාවාරම්කාරයන්ට, බාර් හිමියන්ට හා ජනතා සම්පත් විනාශ කළ දේශපාලන චෞරයන්ට එරෙහිව එදා නැගුණු ගාලුමුවදොර විරෝධයේ ප්‍රතිචාරය ඒ ඡන්ද පෙට්ටිවලට ඇතුල්වන බව නම් නිසැකය. එහෙත් ඒ විරෝධතාවේ හෘදය සාක්‍ෂියට තවමත් ප්‍රබල ඇමතීමක් කරන බවක් ද නොපෙනේ. ඇත්තටම ජා.ජ.බ. වේදිකාව ඒ මිලින වූ ජනතා පැතුම් සිහිපත් කරන බව ද පෙනේ. එහෙත් එය සිය මැතිවරණ ව්‍යාපාරයක මුඛ්‍ය තේමාව කර ගත යුතු ප්‍රබල ජන හඬක් බව ඔව්හු ද හඳුනාගෙන සිටිත් දැයි නොදනිමු.

advertistmentadvertistment
advertistmentadvertistment