කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල රජදරුවන් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් ඉදිකළ වාරි කර්මාන්තයන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින තත්වයක් තුළ වගාවන්ට අවශ්‍ය ජලය නිසි පරිදි ලබා ගැනීම බලවත් ගැටළුවක් බවට පත්ව ඇත.

ඒ බව මනාව හඳුනාගනිමින් රට පුරා ගොවි ජනතාවට ආර්ථික වශයෙන් සවිමත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සම්පත් බැංකුව ඒ සඳහා කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරනුයේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරය තුළින් කෙත් බිම් සරු කිරීමට අවැසි දියවර නොඅඩුව සපයා ගැනීම වෙනුවෙන් අභාවයට යමින් පවතින වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරමිනි. එහි සුවිශේෂී පියවරක් ලෙස උතුරු පළාතේ වවුනියාව ඒච්චන්කුලම්හි කිඩාචුරි වැව ප්‍රතිසංස්කරණය සඳහන් කළ කළ හැක්කේ ‘වැවට ජීවයක්’ වැඩසටහන යටතේ ජීවය ලබන උතුරු පළාතේ ප්‍රථම වාරි කර්මාන්තය වන බැවිනි. උතුරේද දකුණේද සියලු ගොවි දරුවන් මුහුණ දෙන ප්‍රමුඛ දුෂ්කරතාවයක් වන ජල ප්‍රශ්නය විසඳාලමින් ඔවුන්ගේ මෙන්ම රටේ ආර්ථිකයද ශක්තිමත් කිරීමට අරමුණු කොට ගෙන ඇති සම්පත් බැංකුව වවුනියාවේ කණ්ණගි ගොවි සංවිධානයේ ඉල්ලීම මත කිඩාචුරි වැව ප්‍රතිසංස්කරණය කිරීමේ හා බුරුතගොල්ල, ඔක්කම්පිටිය දඹේයාය පුබුදු ගොවි සංවිධානයේ ඉල්ලීම මත දඹේයාය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම භාරගත්තේ ඒ අනුවයි.

සම්පත් බැංකුවේ ප්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන වන ‘වැවට ජීවයක්’ වැඩසටහන යටතේ ජීවය ලබන 20 වන වාරි ව්‍යාපෘතිය ලෙස වවුනියාවේ කිඩාචුරි වැව ඉතිහාසයට එක් වන්නේ උතුරු පළාත තුළ ‘වැවට ජීවයක්’ වැඩසටහනින් පෝෂණය වන ප්‍රථම වාරි ව්‍යාපෘතිය බවටද පත් වෙමිනි. උතුරු පළාතේ ගොවි පවුල් 290ක් පමණ ඍජුව ප්‍රතිලාභ ලබන අක්කර 185ක් පුරා විහිදෙන ගොවි බිම් පෝෂණය කරන කිඩාචුරි වැව වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණයට ලක් නොවීම හේතුවෙන් අබලන්ව පවතින්නේ ගොවි ජනතාවට තමන්ගේ ගොවිතැන් කටයුතු පවා නිසි පරිදි සිදු කර ගැනීමේ අවස්ථාවද ඔවුන්ගෙන් ඈත් කරමිනි. වැවෙහි ප්‍රධාන සොරොව් දෙක අබලන් වීම නිසා ජල කාන්දුව හා වැවෙහි පෝෂක ඇල මාර්ගය අබලන් වීම පමණක් නොව තවත් ප්‍රතිසංස්කරණයන් රැසක් අවශ්‍යව පවතින කිඩාචුරි වැව පරිපූර්ණ වාරි පද්ධතියක් බවට පත් කිරීමේ වගකීම සම්පත් බැංකුව භාර ගත්තේ වවුනියාවේ ඒචිචන්කුලම් ගොවි ජනතාවට බලාපොරොත්තුවේ දෑත් දිගු කරමිනි. ඒ අනුව වැවෙහි ප්‍රධාන සොරොව් දෙක සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ජල කාන්දුව නිසි පරිදි සකස් කොට පෝෂක ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටත් වැවෙහි අනෙකුත් සියලු අවශ්‍යතා පරිපූර්ණව ප්‍රතිසංස්කරණය කිරීමටත් සම්පත් බැංකුව පසුගියදා කටයුතු ආරම්භ කරන ලදී. එම සංවර්ධන කටයුතු වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තාක්ෂණික දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී විශේෂ ව්‍යාපෘති හා සම්මේලන දුල්සිරි ජයසිංහ මෙනවිය, ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාර රවින්ද්‍ර ගුණවර්ධන මහතා ඇතුළු සම්පත් බැංකු නිලධාරීන්, වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් බී. තේවරදන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කණ්ණගි ගොවි සංවිධානයේ නිලධාරීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment