කාසිවලට මිනිසත්කම හැකිළු තළා දමයි සයිබරයේ මල් කැකුළු !

2462

සයිබර් යන වචනයට ග්‍රීක ශබ්දකෝෂයෙන් මුල පිරුණත් විලියම් ගිබ්සන් ගේ බර්නිං ක්‍රෝම් නව කථාවෙ සයිබර් වදනත් සමග එය ඩිජිටල් ලෝකයේ මිහිරිතම වදනක් බවට පත්විය. සයිබර් අවකාශයේ සැරිසැරීමද සොඳුරු අත්දැකීමකි. අබිංවලට මෙන් වැඩි දෙනෙක් ඊට ඇබ්බැහිවී ඇත්තේ ද මේ මායාකාරී බවට වශීකෘත වීමෙනි. එහෙත් දැනගෙන ගියොත් දෙව් විමනක් වන නොදැන ගියොත් අතරමංවී පමණක් නොව ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන මරණයටත් වඩා අමිහිරි අත්දැකීමක් ලබා දෙන තැනක් බවට සයිබර් ලොව පත්ව තිබෙයි. අවාසනාවකට හයක් හතරක් නොතේරෙන වයසේ සිටින කිරි සුවඳවත් මුවින් ගිලිහී නොගිය දරුවන් පවා දිනෙන් දින විශාල වශයෙන් සයිබර් ලොවේ අදිසි අපරාධකරුවන් ගේ ගොදුරු බවට පත්වෙමින් සිටියි. අවාසනාවකට ශ්‍රී ලංකාව වැනි රටවල ඇතැම් වැඩිහිටියන්ට පවා අන්තර්ජාලය පරිශීලනය කිරීම, ස්මාට්ෆෝන් භාවිතය පිළිබඳ කිසිදු අවබෝධයක් නැත. සමහර වැඩිහිටියන් තමන්ගේ සයිබර් අවශ්‍යතා ඉටු කරගන්නේ ද දරුවන්ට කියාය. එපමණට ම තොටිල්ලේ සිට ම දරුවන් සයිබර් ලොව ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් ය.

මීට වසර ගණනාවකට පෙර වැඩි වශයෙන් ම සයිබර් හිංසනයට වඩාත් ගොදුරු වූයේ වයස අවුරුදු 16 -18 අතර නව යොවුන් වියේ පසුවන දූදරුවන් ය. එහෙත් මේ වන විට ළමා වියට ආයුබෝවන් කියා නව යොවුන් වියට පිවිසෙන අවුරුදු 10 තරම් වූ වයස් සීමාවේ සිට වයස අවුරුදු 14 දූදරුවන් සයිබර් අපරාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතියි.

ළමා රියැලිටි වැඩසටහන්වලින් පමණක් නොව තාක්ෂණයෙන් ද දරුවන් පොඩි වැඩිහිටියන් බවට පත්කර තිබෙයි. එබැවින් ප්‍රජනක සෞඛ්‍ය ගැන “අ” යන්නවත් නො දැන දරුවෝ ආදරය කිරීමට පෙළඹෙති. තමන් පණ මෙන් ආදරය කරන බව පෙන්වීමට සිය පිවිතුරු බව පූජා කිරීමට අමතරව පෙම්වතා ලෙස පෙනී සිටින පුද්ගලයා මුහුණු පොතෙන්, වොට්ස්ඇප්, ඉන්ස්ටග්‍රැම් ආදී විවිධ විවිධ සයිබර් මාධ්‍යයන්වලින් පැමිණ පෙම්වතියට උපන් ඇඳුමින් සිටින ලෙසට පවා ඉල්ලීම් කරයි. දොරගුළු ලා ගෙන පෙම්වතා ගේ අවශ්‍යතාව දැරිය ඉටු කරන්නේ පරම පිවිතුරු චේතනාවෙනි. කිසිදු සැකයක් ඇයගේ සිතේ නැත. එහෙත් ඇය ඔහුට එරෙහි වුවහොත් හැර යෑමට උත්සාහ දැරුවොත් සිදුවන්නේ ඇය උපන් ඇඳුමින් සිටි ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් තව දුරටත් ඇය අපයෝජනය කිරීමය. විවිධ අවශ්‍යතා මෙවැනි පුද්ගලයන් අසරණ ගැටවර දැරියගෙන් ලබා ගනියි. ප්‍රේම සම්බන්ධතා මුල්කර ගනිමින් සිදුවන පළි ගැනීම් අපරාධ වැඩියෙන් වාර්තා වන බව මෙරට අපරාධ විමර්ශන ඒකකය පෙන්වා දෙයි. බොහෝ අවස්ථාවල නව යෞවනියන් පෙම්වතුන් තෝරා ගන්නේ ද මුහුණු පොත වැනි සමාජ ජාලා මාධ්‍යවලිනි. තමන් තෝරා ගන්නා පෙම්වතා තාක්ෂණයේ පිහිටෙන් ම වේෂනිරූපණය කර කඩවසම් හාදයකු ලෙස පැමිණ ඇති බව දැරිය හඳුනා ගන්නා විට සියල්ල සිදුවී අවසන් ය. අන්තර්ජාලය හරහා හදිසියේ ම හඳුනා ගන්නා පුද්ගලයන් ගේ ආශාවන් සජීවීව මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද සපුරාලීමේ භයානකකම ගැන දූදරුවන් දැනුවත් නො කළොත් අවසානය ජීවිතයෙන් වන්දි ගෙවීම වැනි අවාසනාවන්ත ඉරණමක් වනු වළකා ලිය නොහැකි ය.

● ඡායාරූප බණ්ඩල ජාවාරම

කාසිවලට මිනිසත්කම හැකිළු තළා දමයි සයිබරයේ මල් කැකුළු !

අපේ රටින් වාර්තා වන අලුත්ම සයිබර් අපරාධයක් වන්නේ කුඩා දැරියන්ගේ සහ නව යෞවනියන්ගේ ඡායාරූප බණ්ඩල ආකාරයෙන් විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරමයි. පෙම්වතුන් ලෙස පෙනී සිට පෙම්වතියන් රවටමින් ලබා ගන්නා සේයාරූ, කුඩා දැරියන් විවිධාකාරයෙන් රවටා ගන්නා ඡායාරූප බණ්ඩල ලෙස සකසා විවිධ මිල ගණන් යටතේ වෙන් කර පැකේජ ලෙස අලෙවිකරන ජාවාරම්කරුවෝ සිටිති. උදාහරණයක් ලෙස මෙගාබයිට් දහසක බණ්ඩලයක් අවශ්‍ය පුද්ගලයකු කළ යුත්තේ අදාළ මුදල අපරාධකරු ගේ ගිණුමට බැර කිරීම ය. ගිණුමට මුදල් බැර කළ පසු ලබා දෙන ලින්ක් එකක් ඔස්සේ ගැණුම්කරුට ඒවා විවෘත කළ හැකි වෙයි. කිරිදරුවන් පවා මේ ඡායාරූප එකතුවල සිටීම ඉතා ඛේදනීය තත්ත්වයකි. අපරාධකරුවන් මේ බණ්ඩල ජාවාරම සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ ටෙලිග්‍රෑම් මෙවලම බව අපරාධ විමර්ශන ඒකකය සොයා ගෙන තිබෙයි.

● රැකියාවක මුවාවෙන් එන ජාවාරම්කරුවන්

රැකියාවන් ලබා දෙන බව පවසමින් යෞවනියන් රවටා ගෙන අනිසි ඡායාරූප ගැනීමේ කලාවක් ද පවතියි. විශේෂයෙන් මෝස්තර නිරූපණ ශිල්පිණියන් වැනි රුව මූලික සාධකයක් වන රැකියාවලට බඳවා ගැනීමේදී ඉතා පරෙස්සම් විය යුතු ය. මේ ජාවාරම්කරුවන් කරන්නේ මුලින්ම තරුණියගේ ඡායාරූප ගෙන්වා ගෙන පසුව ඇය රැකියාවට සුදුසුදැයි බැලීමට විවිධ ඉරියව්වලින් ඡායාරූප ගෙන්වා ගැනීම ය. රටේ ආර්ථික බිඳ වැටීම පසුම්බියට තදින් ම දැනෙන කාලයක තරුණියන් ද දෙවරක් නො සිතා ඔවුනගේ අවශ්‍යතා ඉටු කරයි. අවසන ඔවුනට තරු පෙනෙන්නේ ලැබේවියි සිතූ රැකියාව අහිමි වීමටත් වඩා මේ අධම පුද්ගලයන් ඡායාරූප අන්තර්ජාලයට සමාජ ජාලාවලට එක්කරන බවට තර්ජනය කරමින් ඔවුන් බ්ලැක්මේල් කරන විටදී ය. තවදුරටත් දිගින් දිගටම තරුණියෝ තාක්ෂණිකව අපයෝජනයට ලක්වෙති. තවත් අයට සිදුවන්නේ මුදල් උපයා ගැනීමට නොව තිබෙන සොච්චමත් අපරාධකරුවන්ට බිලිදී ආත්ම ගෞරවය බේරා ගැනීමේ සටනක නියැළීමට ය. ඇතැමුන් ජීවිතයෙන් පවා වන්දි ගෙවයි.

● මාපියන් පවා නොදනියි

තමන්ට සිදුවූ පරිගණක අපරාධ ගැන ඒකකයට ඇතැම් දැරියන් පැමිණෙන්නේ මාපියන්ට ද හොර රහසේ ය. තවත් දැරියන් අපරාධකරුවන්ගේ ඉල්ලීම පරිදි තර්ජනයට බියෙන් සිය මවගේ, සොයුරියගේ ඡායාරූප පවා අපරාධකරුට ලබා දෙයි. අවාසනාවකට දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඇතැම් විට පිටස්තර පුද්ගලයන් අතට පත් කරන්නේ මාපියන්මය. මෑතකදී විදෙස්ගතව සිටින අනියම් පෙම්වතාට දොළොස් හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපය යැවූ මවක් ගැන පරිගණක අපරාධ විමර්ශන අංශයට වාර්තා වී තිබෙයි.

● ගුරුවරුන්ට විශාල වගකීමක් තිබෙනවා

කාසිවලට මිනිසත්කම හැකිළු තළා දමයි සයිබරයේ මල් කැකුළු !
කාන්තා සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම

කොවිඩ් වසංගතයත් සමග මාර්ගගත අධ්‍යාපනයේ මුවාවෙන් අතට ලැබුණු ස්මාට්ෆෝනය අධ්‍යාපනය පමණක් නොව ජීවිතයම විනාශ කරන තත්ත්වයකට පත්වී තිබෙයි. නූතන දූදරුවන් මාපියන්ගේ අවවාද උපදෙස්වලට වඩා ගුරුවර ගුරුවරියන්ගේ ඔවදන් පිළිගැනීමට කැමැති බැවින් විෂය නිර්දේශයට හිමි තැන වගේම තැනක් දූදරුවන්ට සයිබර් අපරාධවලින් ආරක්ෂා වී සිටීම ගැන ද ලබා දිය යුතු ය. අධ්‍යාපනය නිසි ලෙස ලැබීමට නම් සයිබර් අපරාධකරුවන්ගෙන් දූදරුවන් සුරක්ෂිත විය යුතුය. දූවරුන් මෙන්ම පිරිමි දරුවන් ද සයිබර් අපරාධකරුවන් ගේ වින්දිතයන් බැවින් දෙපිරිස ම දැනුවත් කිරීම වැදගත් ය.

මාපියනට මේ සම්බන්ධව විශාල වගකීමක් පැවරී තිබෙයි. මව, පියා හැර වෙනත් පුද්ගලයකුට සිරුරේ වැසුණු තැන් ඇල්ලීමට ඉඩක් නොදෙන ලෙසට මූලික ප්‍රජනන සෞඛ්‍ය දැනුම ලබා දෙනවාක් මෙන් සයිබර් අවකාශයේ සැරි සැරීමේදී ද දරුවාට කළ යුතු නො කළ යුතු දෑ ගැන අවබෝධයක් ලබා දීම අත්‍යවශ්‍ය ය. නන්නාඳුනන පුද්ගලයන් සමග අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීමේ භයානකකම දරුවාගේ වයසට ගැළපෙන පරිදි කියා දෙන්න. ඇප් වර්ග ඩවුන්ලෝඩ් කිරීමේදී මාර්ගෝපදේශකත්වය ලබා දෙන්න. අන්තර්ජාලයේ සිටින කාලය සීමා කරන්න. ‘ච්රුබඒක ජදබඑරදකි මගින් දරුවා ගේ අන්තර්ජාල භාවිතය අධීක්ෂණය කරන්න.

දරුවන් මල් වැනි ය. මල් වැනි දරුවන් වටා අද කාලයේ සැරිසරන්නේ මීමැස්සන්ට වඩා දෙබරුන් ය. සයිබර් අවකාශය ඔවුනට ඒ සඳහා කදිම තෝතැන්නකි. එය දෙමාපියන් අමතක නො කළ යුතුම දෙයකි.

ස්තූතිය
කාන්තා සහකාර පොලිස් අධිකාරී
චන්දිමා අරුමප්පෙරුම (කාන්තා සහ ළමා හිංසනය පිළිබඳ අධීක්ෂණ)
විශේෂ ස්තුතිය – නියෝජ්‍ය පොලිස්පති / පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය / ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ/ ආර්. ඒ. ඩී. ඊ. එල්. රන්දෙණිය

චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment