මේ වූ කලී ලොවම කම්පනයටත්, තිගැස්සීමටත් පත් කළ ඊශ්‍රායල් හා පලස්තීන ම්ලේච්ඡ යුද්ධයෙහි පීඩනයෙන් ලංකාව ද කම්පාවට පත්කර තිබෙන අඳුරු මොහොතකි. ගාසා තීරයේ පටු අවකාශයක සියලු ජීවිත අපේක්‍ෂාවන් අත්හැර දමා කුහුඹුවකුටවත් වරදක් නොකළ අහිංසකයන් සුසුම් හෙළමින් ද ජීවිතවලින් වන්දි ගෙවමින් ද සිටින බිහිසුණු ඛේදවාචකයක් වෙත ජගත් මානව වර්ගයාගේම දෑස් යොමුව තිබෙන නිමේෂයකි. අප වැනි කුඩා ස්වාධීන රටවල්වලට මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ උපදෙස් දෙන මහා බලවතුන් යැයි පිළිගත් අයම පාර්ශ්වකරුවන් වී සිටින සමාජ දේශපාලනයක අතිශය කුරිරු භාවිතයක් අප අභියස සක්‍රීය වී තිබේ. ඒ ලේක බලවතුන්ගේ මිලිටරි මානසිකත්වය පීඩනය අපට ද දැනුණු අප හඳුනන අමිහිරි මතකයකි. භූ දේශපාලනය යනු කිසිවකුට කළමනාකරණය කළ නොහැකිවූ බැරෑරුම් විෂයක් බවට පත්ව තිබෙන්නේ ද බොහෝ විට අධිපතිවාදී පාලකයන්ගේ දුෂ්ට අරමුණු නිසා බවද අප වටහා ගතයුතු වේ. මේ වනවිටත් දහස් ගණනකට ජීවිත අහිමි කර තිබෙන ඊශ්‍රායල හා පලස්තීන යුද ගැටුම් සම්බන්ධයෙන් අපට කළ හැකි යමක් නොවූවක් ඉගෙන ගතයුතු බොහෝ දේවල් ඇත.

බටහිර ලොවේම ඇගයුමට පාත්‍ර වූ වින්ස්ටන් චර්චිල් වැනි දේශපානඥයන් පවා එදත් සියුම් මානව සබඳතාවන් දෙස බැලුවේ ඇස් හකුළවමින්ය. යුරෝපය මල් උයනක් ලෙස දුටු චර්චල්ට අප වැනි ආසියානු හා කුඩා රටවල් පෙනුණේ වනාන්තර ලෙසය. අශිෂ්ට මානවයන්ගෙන් පිරී ගිය කරදරකාරී කොටස් ලෙස ඔව්හු අප දකිති. වරක් ඉන්දියාව විශාල සාගතයකට මුහුණ දුන් විටෙක බි්‍රතාන්‍යයයෙන් ආධාර ඉල්ලා තිබුණි. එයට ප්‍රතිචාර දැක්වූ චර්චිල් පවසා තිබුණේ ඉන්දියාවට ආහාර හිඟයක් වේනම් ගාන්ධි (මහත්මා ගාන්ධි) තවමත් ජීවතුන් අතර සිටින්නේ කෙසේද යනුවෙනි. ධනවත් බලවත් රටවල් අදත් ක්‍රියා කරන්නේ ද ඔවුන්ගේ දේශපාලන හා ආර්ථික අරමුණු වෙනුවෙන් බව අප වටහා ගතයුතුය. එහෙත් ඒ දේශපාලන විඥානය අපේ බොහෝ නායකයන්ට තිබේ දැයි සැකයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජර්මානු සංචාරයේ දී ඔහුට හමුවූ මාර්ටින් නමැති රූපවාහිනි මාධ්‍යවේදියාට ප්‍රතිචාර දැක්වූයේද තවමත් යුරෝපය අපව දෙවැනි තැනට ඇද දමා තිබෙන බවට චෝදනාවක්ද කරමින්ය. කුමක් වුවත් ඇමරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු බටහිර නායකයන් කටයුතු කරන්නේ බලය සඳහා ආචාර ධර්ම හා සදාචාරය නොතකා කටයුතු කළ හැකි යැයි දැක්වූ මැකියාවලි න්‍යාය අනුව බව පෙනේ. බලය යුක්තියෙන් හා ධර්මයෙන් ඉවත් කිරීමේ ආකල්පය දේශපාලන විචාරකයන්ගේ ද විවේචනයට ලක් වූවකි. අද ඊශ්‍රායලය ගර්ජන කරන්නේ හමාස් සංවිධානයම අතුගා දමන බව පවසමින්ය. ඇමරිකාව සිටින්නේ ද ඊශ්‍රායලය සමගය. ත්‍රස්තවාදීන්ගේ අවිය වූ ඝාතනයට අප විරුද්ධ වන්නා සේම මානව වර්ගයා බලයෙන් යටත් කිරීම ගැන ද අපට ප්‍රශ්න තිබේ. ගාසා තීරය විනාශ කිරීම යනු මේ අර්බුදයට පිළිතුරක් නොවන බව පවසන සමාජ දේශපාලන විශ්ලේෂණ ද වේ. සමාජයට කිසිදු පුද්ගල කොටසක් බලයෙන් මැඬලීමට ඉඩ නොතැබිය යුතු බව භූ දේශපාලනය තුළ පිළිගනු ලබන්නකි. මානව හිමිකම් සුරැකීම රක්‍ෂාවක් නොව මානව සංහතියේම යහපත උදෙසා සිදුවිය යුත්තක් බවද අපගේ අවධාරණයයි. නීතිය ඉදිරියේ සමානාත්මතාව තුළින් පෙන්වා දෙන්නේ ද ඒ දේශපාලන සමාජ චර්යාවෙහි අගයට පාලකයන් ගරු කළ යුතු බවය.

යුද ගින්දර සහ දේශපාලන අන්දර !

කෙසේ වුවද මෙම ඊශ්‍රායල් හා පලස්තීන අර්බුදය විසින් ලංකාවේ දේශපාලන මෙන්ම ආර්ථික ක්‍ෂේත්‍රයෙහි දැඩි කැළඹීම් සිදුවිය හැකිය. පලස්තීන මිත්‍රත්වය මෙන්ම ඇමරිකන් විරෝධය මෙහිදී විවිධ දේශපාලන ප්‍රතිචාරවලට ද හේතු විය හැකිය. එහෙත් අද වනවිට ඊශ්‍රායලය අපේ සතුරන් ලෙස පිළිගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකරන බවද නිසැකය. ඊශ්‍රායලය මෙන්ම පලස්තීනයද මෙහිදී දැඩි ප්‍රහාරක මානසිකත්වයකින් විනාශය තෝරා ගෙන තිබෙන බවද පෙනේ. එසේම මැදපෙරදිග රටවල් ඊශ්‍රායලය දෙස බලන්නේ ද සතුරු ආකල්පයකිනි. ඉරානය මේ ගැටුමේ දී පලස්තීනයට ආධාර කරන බවද රහසක් නොවේ. ඊශ්‍රායලය නිවේදනය කළේ හමාස් අන්තවාදී කඳවුරු 200කට පමණ ප්‍රහාර එල්ල කළ බවය. හමාස් සංවිධානය කියන්නේ එම ප්‍රහාර නතර නොකළහොත් ඊශ්‍රායල හමුදා භටයන් ඇතුළු තමන් භාරයේ රඳවා ගත් අය මරා දමන බවයි. ඇමරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය මෙම හමාස් ප්‍රහාරය හෙළා දකින බවට ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර තිබුණි. එහෙත් ඊශ්‍රායලයට යුද ආධාර හා ගුවන් යානා යුද නැව් ආදිය ලබාදෙන ඇමරිකාව මේ විනාශයේ චූදිතයකු බවට ද පත්ව සිටියි.

දැන් අපි මෙරටේ සමාජ-ආර්ථික දේශපාලන ජංජාල වෙත යොමු වෙමු. (ජංජාල යන්නට සෝරත ශබ්ද කෝෂය අරුත් දක්වන්නේ ‘අමාරුව’ ලෙසය) නිසැකයෙන්ම දැන් සෑහෙන කලක පටන් රට මෙම අමාරුකම්වලින් මිරිකී හෙම්බත්වී සිටියි. අවිචාරශීලී පාලකයන් විසින්ම නිර්මාණය කරන ලද ඒ අවුල් ජාලාවලින් රටම ගිලන්වී සිටියි. ජනාධිපති රනිල්ගේ ආර්ථික අපේක්‍ෂා සියල්ල කේන්ද්‍රගත කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ණය ආධාර මතය. එහෙත් එය ආණ්ඩුවේ සුජාත භාවය සම්බන්ධ අර්බුදය සමග ගැටෙමින් තිබේ. ඒ වූ කලී එම අරමුදල ලබාගැනීමට උචිත ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අසමත් වීම පිළිබඳ ප්‍රශ්නයකි. ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා බැහැර කළ යුතු මෙන්ම ඉටුකළ යුතු කරුණු ගණනාවක්ම අරමුදලේ නිලධාරීහු පෙන්වා දී සිටිති. එහි ප්‍රධානම ප්‍රශ්නය දූෂණය, අකාර්යක්‍ෂමතාව හා රාජ්‍ය වියදම් කළමනාකරණය යනාදිය සමග බැඳී පවතී. මේ වනවිටත් ආණ්ඩුව ඇතුළත අතැම් ආයතනවලට මෙන්ම ඒවායෙහි ප්‍රධානීන්ට ද බරපතළ දූෂණ අක්‍රමිකතා චෝදනා නැඟී තිබේ. සෞඛ්‍ය සේවය එයට එක නිදසුනකි.

රජයේ බදු ප්‍රතිපත්තිය මෙන්ම රේගුව, සුරාබදු හා දේශීය ආදායම් බදු සම්බන්ධ ක්‍රියාකාරකම් බෙහෙවින් දූෂිත වී තිබෙන බවට චෝදනා නැඟෙයි. ආණ්ඩුවේ නීති නොතකා විවිධ භාණ්ඩ ආනයනය කිරීම හා බදු පරිපාලනයේ දුබලතා පිළිබඳව ආණ්ඩුවේම ප්‍රබලයෝම කැරුණු කියති. පාලනයෙන් ගිලිහී ගිය බදු සම්බන්ධ ක්‍රියාවලිය විමර්ශනය කරන අයෙකුට පෙනී යන්නේ ඒ බොහෝ නිලධාරීන් මේ වනවිටත් නීතිමය කාර්ය භාරයකට ලක්ව සිටිය යුතු චූදිතයන් බවය. කෝප් කමිටුව වැනි නිල කමිටුවල දැඩි විවේචනවලට හා චෝදනාවලට පාත්‍ර වන ඒ නිලධාරීන්ගේ විලාසයන් ඔවුන්ගේ ප්‍රතිචාරත් රූපවාහිනී නාලිකා මගින් දක්වනවිට මේ රටේ නීතියක්, විනයක් මූල්‍ය පාලනයක් කවදාවත් නොතිබුණේ දැයි හිතෙන තරම්ය. ඇත්ත වශයෙන්ම දේශපාලනඥයන්ට වඩා මේ අමන නිලධාරීහු රටේ ආර්ථික පරිහානියට වගකිව යුතු නොවෙත්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම මහජනයාගේ බදු මුදල් රිසි රිසි අයුරින් වියදම් කිරීම ගැන ද හොඳ අවබෝධයක් තිබෙන බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් හොඳටම පැහැදිලි වේ. දේශපාලනඥයන් ඇතුළු වරප්‍රසාද සහිත අය සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද මූල්‍ය අරමුදල බලාපොරොත්තු විය. එහෙත් එය මෙවන් දූෂණයට වගකිවයුතු කණ්ඩායම් සිටින ආණ්ඩුවකින් අපේක්‍ෂා කළ හැකිද? විපක්‍ෂය සම්බන්ධයෙන් එබඳු නිර්භීත අනාවරණයක් කෙරෙනු ඇතැයි සිතිය නොහැක. වේදිකාවල මෙන්ම පුවත්පත් සාකච්ඡාවල දූෂණය හා මහජන මුදල් වංචා කිරීම්, කොමිස් ලබාගැනීම් ආදිය පිළිබඳව එකිනෙකාට චෝදනා නඟන දේශපාලනයක් තිබුණත් කිසිදු දූෂිතයෙක් දඬුවම් ලද බවක් වාර්තා වී නැත. නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වරූපය ඉතා පැහැදිලිව පෙනේ. දූෂණ, වංචා අයථා ගනුදෙනු පිළිබඳව ප්‍රසිද්ධියේ චෝදනා ප්‍රතිචෝදනා නැඟුණත් කිසිම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත. විපක්‍ෂයේ කිසිවෙක් ආණ්ඩුවට එක් වුවහොත් ඔහුට ලැබෙන ප්‍රතිලාභ අතර නීතිමය කටයුතු අහෝසි කිරීම ද වේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කර ගන්නා ලද දූෂණ, වංචා නඩු පිළිබඳ විස්තරවලින් තහවුරු වන්නේ ඒ අශිෂ්ට දේශපාලනයේම අඳුරු පැතිකඩකි.

අද මේ රටේ දූෂණය, වංචාව යනු නීතියක නොවූ එහෙත් නඩු නැති අපරාධ බව රටම දනිති. ඒ වංචා වෙනත් රාජ්‍ය නොවන ආයතනවල ද උතුරා යමින් තිබේ. හොඳම උදාහරණය ක්‍රිකට් පාලක ආයතනයයි. මේ ආයතනය මෙල්ල කිරීමට ක්‍රීඩා ඇමැතිට තබා ආණ්ඩුවටවත් නොහැකිය. මුදල් බලය විසින් ඒ සියලු ක්‍රියාකාරකම් රැක ගත හැකිවී තිබේ. මහජන නියෝජිතයකුට වුවද වාරණ පැනවීමට ඔවුන්ට හැකිය. විගණකාධිපති පිළිබඳවද ක්‍රිකට් බලධාරීහු තඹයකට මායිම් නොකරත් දැයි සැකයකි. එහෙත් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් නිලධාරි මාෆියාවකින් ගසා කෑම දෙස සියල්ලෝම තුෂ්ණීම්භූතව බලා සිටිති. ක්‍රීඩා බලධාරීන්, මැති ඇමැතිවරුන් ආදී කිසිවෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නාමයෙන් ලැබෙන මුදල් ගැන කවර හෝ ප්‍රතිචාරයක් දැක්වීමට බියවී සිටිත් දැයි අපට සිතේ. දූෂණය ඉහ වහා ගිය දේශපාලකයකුට එබඳු ධෛර්යයක් නැද්ද? රටේ හැම ක්‍ෂේත්‍රයක්ම දූෂණ, වංචා අකාර්යක්‍ෂමතා ආදියෙන් ඉහ වහා යද්දීත්, ආණ්ඩුව සම්මත කළ දූෂණ පනතේ හිල් තිබේ යැයි පුවතක්ද පළ විය. විපක්‍ෂයේ ආචාර්ය හර්ෂට අනුව පාර්ලිමේන්තුවේ සිටින 225න් තම වත්කම් ප්‍රකාශ කර ඇත්තේද 12 ක් වැනි පිරිසකි. එහෙව් රටක් මෙසේ ඉතිරිවී තිබීම ගැන අප සතුටු විය යුතු නොවේද?

මේ සියල්ල එලෙස සිදු වෙද්දී රටේ දේශපාලනයේ හෙට දවස පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි පුවතක් ද ඇසුණි. ඒ තම පක්‍ෂය කඩාගෙන ආණ්ඩුවට එක්ව ඇමැති ධුරයක් ලබාගත් නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අවලංගු වීමය. මෙය මෙරටේ දේශපාලන කුණපයේ දුර්ගඳ ඉවසමින් නාසය අල්ලාගෙන සිටින අයට සුළු හෝ උත්තේජනයක් දනවන සුබ ආරංචියකි.

මේ අතර වැඩි කලක් ගත වීමට පෙර ජනතාවගේ හිසමතට කඩා පාත්වීමට සූදානමින් තවත් හෙණ ගෙඩියක් ද ඇත. ඒ සියයට විසි දෙකකින් පමණ විදුලි බිල ඉහළ දැමීමට කර තිබෙන යෝජනාවකි. ඉංජිනේරු සංගමයට අනුව මේ මිල වැඩි කිරීම හැර විදුලි බල මණ්ඩලයට වෙනත් විකල්පයක් නැත. මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන්ගේ හාස්කම් ප්‍රසිද්ධය. සූර්යතාප විදුලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අධිකරණය මේ විදුලි නිලබලවලට දැක්වූ ප්‍රතිචාරය අපට මතකය. විදුලිය, ගෑස්, ඉන්ධන ප්‍රශ්නය සුළු කොට තැකිය යුතු නැත. ගෝඨාභයට ජනාධිපති ධුරය අතහැර රටින්ද පැන යෑමට ප්‍රබල හේතුවක් වූයේද ඒ ක්‍ෂේත්‍රවල මතුවූ අර්බුදයන්ය. දැනට තිබෙන විදුලි බිල විසින් ජනතාවට පටවන ලද අයුක්ති සහගත වරද උසුලා ගත නොහකි වූවකි. ආණ්ඩුව ටික කලකට පෙර උජාරුවෙන් කීවේ විදුලි බිල සංශෝධනයක් වාර්ෂිකව සිදුවන බවත් එහිදී මිල අඩුවීම් ද සිදුවිය හැකි බවත්ය.

විදුලි බිල සමග බැඳුණු උත්ප්‍රාසනීය සිදුවීම් ද ඇත. නාමල් මන්ත්‍රීවරයාගේ මංගල උත්සවයේ විදුලි බිලක් යැයි ප්‍රසිද්ධ වූ ලක්‍ෂ 26කට වැඩි මුදලක් එම පක්‍ෂයේ සනත් නිශාන්ත ගෙවා තිබුණි. එසේ වුවද නාමල් ඒ බිල ගැන තවමත් විවිධ කතා කියයි. සනත් නිශාන්ත බිල ගෙවා ඇත්තේ නායකයා වන මහින්ද ගැන කරුණාවෙන්ය. එසේම හිටපු ජනාධිපති මහින්ද පවසන්නේත් විදුලි බිල ගෙවීම අමාරු බවය. ආණ්ඩුව ජනතාවට සහන දිය යුතු බවය. මහින්ද මේ දිනවල පුණ්‍ය ක්‍රියාවල නිරතව සිටියි. විහාරස්ථානවලට ගොස් නායක හිමිවරුන් බැහැ දකියි. දළදා මාළිගාවට ද ගොස් තිබුණි. රටට තරුණ නායකත්වයක් වුවමනා බවත් ඒ ගමන් බිමන් අතර වාරයක දී මාධ්‍යයට ද පවසා තිබුණි. තම පක්‍ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඡන්ද පැවැත්විය යුතු බවත් ඔහු මාධ්‍යට පවසා තිබුණේ දින කීපයකට පෙර මහනුවර දළදා මාළිගාවට ගොස් එන ගමනේදීය. එහෙත් මේ ආණ්ඩුව මැතිවරණවලට බියෙන් ඒවා කල්දමා තිබෙන බවට දැඩි චෝදනා පත්‍රයක්ද තිබේ. ඡන්ද අයිතිය කුමක් වුවත් ආණ්ඩුව විවේචන නොඉවසන, මහජන විරෝධතා මර්දනයට සූදානම්ව ඒ සඳහා අණ පනත් රැගෙන එන බවට නම් චෝදනාවක් ඇත. ඒ සමාජ මාධ්‍ය ආරක්‍ෂාව නමින් ගෙනා පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතය. මාර්ග ගත ක්‍රමවල සුරක්‍ෂිත තාව පිළිබඳ පනත ලෙස අලංකාර වචන හරඹයක් තිබුණත් එමඟින් භාෂණයේ නිදහසට බාධා වන බව බොහෝ සිවිල් සංවිධාන පවා පෙන්වා දී තිබේ. ඒ පනතට දැන් අධිකරණයේ අභියෝග කර ඇත.

ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම මඟහරිමින් ජනතා පරමාධිපත්‍යය හකුළා දමා තිබෙන බව නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය හමුවක දී පවසා තිබේ. රටේ නීතිය, අවනීතිය බවට පත්ව තිබෙන මොහොතක පොලිස්පතිවරයා පත් කිරීමේ ප්‍රමාදය
ගැටලු සහගත බවද මහාචාර්ය ජී. එල්ගේ විවේචනයකි. දින කීපයකට පෙර පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ නායකයන් වන එස්. එම්. චන්ද්‍රසේන හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරුන් ද ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. ඒ එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. චන්ද්‍රසේන එහිදීත් පවසා තිබුණේ තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැති ධුර හිමිවිය යුතු බවකි. එහෙත් රෝහිත සඳහන් කළේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමිය නොහැකි බවකි.

ආණ්ඩුවත් පොහොට්ටු නායකයනුත් තමන්ට අවාසිදායක පසුබිමක මැතිවරණ පැවැත්වීමට සැරසෙන්නේ ද යන්න සාධාරණ ප්‍රශ්නයකි. ජවිපෙ පමණක් නොව වෙනත් විපක්‍ෂ කණ්ඩායම් ද ඒ දෙස සැකමුසුව බලන බවද පෙනේ. නිල වශයෙන් ප්‍රකාශ වී නැතත් ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කිසියම් අභ්‍යන්තර සාකච්ඡාවක් කර ඇතැයිද වාර්තා වේ. එළැඹෙන අය-වැය යෝජනාවල දී මැතිවරණ සඳහා වැය ශීර්ෂ ඉදිරිපත් වන්නේ ද යන්නත් අපට බලා ගත හැකිය. ආර්ථිකය පෙරට දමා පළාත් පාලන මැතිවරණය අහෝසි කර මේ පාලකයන්ට අවශ්‍ය නම් මැතිවරණයක් කල් දැමීම මොන කජ්ජක් දැයි සිතේ. එහෙත් ඒ සඳහා ජයවර්ධන සූදානම් කර තිබෙන නීතිමය විධිවිධාන යොදා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියකින් බවද අපි දනිමු. එසේ වුවද එදා ජයවර්ධන මැතිවරණ කල් දැමූ ආකාරය, මැතිවරණය වෙනුවට රටම ඡන්ද පොළට කැඳවූ ජනමත විචාරණය වැනි පූර්වාදර්ශ ගැන ද ජනාධිපති රනිල් දනී.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment