බුද්ධි අංශ වෙස් ගෙන මත්ද්‍රව්‍ය වැටලීම් ගැන ජාවාරමුන්ට ඔත්තු දීලා

184

යුද හමුදා, විශේෂ බළකායේ බුද්ධි අංශ කපිතාන්වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ආරක්‍ෂක අංශ නිලධාරීන් මුලාකර වැටලීම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබා දී ඔවුන්ගෙන් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගත් හිටපු හමුදා නිලධාරියකු පානදුර වලාන දූෂණ මර්දන බළකාය මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර තමන් බුද්ධි අංශ කපිතාන්වරයකු බව කියමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද බිය ගන්වා වැටලීම් නොකර සිටීමට යැයි කියමින් මොහු මුදල් ලබාගෙන ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ආරක්‍ෂක නිලධාරියකු ලෙස රැකියාව කරන මෙම සැකකරු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බිය ගන්වමින් මෙසේ මුදල් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ.

ගල්කිස්ස, බඩෝවිට, මොරටුව, දෙහිවල ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුණගැසී තමන් බුද්ධි අංශයේ කපිතාන්වරයකු බව කියමින් වැටලීම් නොකර සිටීමට යැයි කියමින් මෙසේ මුදල් ලබාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වලාන දූෂන මර්දන බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා සහාය ගන්නා මුවාවෙන් පොලිසිය කළ සූක්‍ෂම උපායට හසු වූ සැකකරු පොලිසිය සමග වැටලීමට පැමිණි අවස්ථාවේ කොටු වී ඇත.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක ජනිත කුමාර, සැරයන් (409) විජේරත්න, කොස්තාපල්වරුන් වන (87119) අමිල (92896) අකිල, (92891) පෙරේරා, (97342) දිසානායක, (104547) කුරුකුලසූරිය (10489) හිරුෂාන් යන නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment