IMF දෙවන වාරිකය පමාවේ – දෙන දිනය කියන්න බැහැ

292

දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානි පීටර් බෲවර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීරණ ණය පසුකමේ දෙවන වාරිකය ලබාදෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව එම අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානි පීටර් බෲවර් මහතා ඊයේ (27 දා) මහ බැංකු මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ සඳහා තවදුරටත් කොන්දෙසි සැපිරීමේ ප්‍රගතිය තහවුරු කරගත යුතුව ඇතැයි ද ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාව ගෙවිය යුතුව පවතින රාජ්‍ය ණ්‍ය ප්‍රතිව්‍යුහගත කරමින් සිටින බැවින් මූල්‍යයන සහතික කිරීමේ සමාලෝචන සපුරාලීම, පළමු වැඩසටහනේ සමාලෝචනයෙහි විධායක මණ්ඩල අනුමැතිය අවශ්‍ය වන බවද පීටර් බෲවර් මහතා කීවේය.

ශ්‍රී ලංකාව එහි උග්‍ර ආර්ථික අර්බුදයෙන් නැගී සිටීමට ඉඩ සැලසීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ වේග ශක්තිය පවත්වාගෙන යනු ඇති අතර, නුදුරු කාලය තුළ කාර්ය මණ්ඩල එකඟතාවක් කරා මෙම සාකච්ඡා අඛණ්ඩව සිදුකෙරෙනු ඇති බවද මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පීටර් බෲවර් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තවදුරටත් ණ්‍ය තිරසාරභාවය තහවුරු කරගත යුතු බවද ආදායම් ඉහළ නැංවීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ සක්‍රීය බදු පැහැර හැරීම් තුරන් කිරීම වැදගත් බවද බෲවර් මහතා කියා සිටියේය.

ශ්‍රී ලාංකික ප්‍රජාව සුවිශාල අභියෝග හමුවේ සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබෙනවා. අසීරු වුවත් බෙහෙවින් අවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දූත මණ්ඩල ප්‍රධානි කත්සියර්නා ස්විරිඩ් සෙන්කා මහත්මියද කතා කළාය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment