මහා සංඝරත්නය දේශපාලකයන්ගේ අනුග්‍රාහයෙන් යැපෙන්න වුවමනා නැහැ

146

විනය ගරුක සමාජයක් උදෙසා භික්ෂු උපදේශක සභාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
කැපකරු ක්‍රමයකින් විහාරස්ථාන සුරක්ෂිත කරනවා

රටේ නායකයෝ තරගයට ආගමික විහාරස්ථානවල පවා විදුලි බිල විසන්ධි කරමින් සිටින බවත් බුදු දහම අප රටට ලැබූ මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළ නමුත්ප්‍රායෝගික බෞද්ධයන් ලෙස ඒ ගැටලු‍වට තාවකාලිකව විසඳුමක් සමගි ජන බලවේගයට ලබාදීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහා සංඝරත්නය දේශපාලකයන්ගේ අනුග්‍රාහයෙන් යැපෙන්න වුවමනා නැහැ

අපේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ සාසනයට විශේෂ පිළිගැනීමක් ලබාදී ඇතත් එය කොතෙකුත් දුරට මහපොළොවේ යථාර්ථයක් වී ඇත්ද යන්න සිතා බැලිය යුතු වුවත් සමගි ජන බලවේගය සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය උදෙසා කැපවූ දේශපාලන බලවේගයක් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (16දා) කළුතර පැවැති විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාව අමතමිනි.

අප රට තුළ විහාරස්ථාන 14108ක් ඇති බවත් විහාරස්ථාන 10347ක දහම් පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වන බවත් එසේම පිරිවෙන් 824ක් ඇති බවත් සමගි ජන බලවේගය විහාරස්ථානය, දහම් පාසල හා පිරිවෙන කේන්ද්‍ර කරගෙන වැවයි දාගැබයි ගමන් පන්සලයි සංකල්පය තුළ සමාජ, ආගමික සංවර්ධන, විනීත යුක්ති ගරුක ශිෂ්ඨ සම්පන්න, ප්‍රබුද්ධ හා සෞභාග්‍ය සම්පන්න පුරවැසි පරපුරක් බිහි කරමින් රටේ ප්‍රගතියේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස විහාරස්ථාන පද්ධතිය හා මහා සංඝරත්නය සුරක්ෂා කිරීමේ ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහිදී මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථ කැපකරු ක්‍රමයක් ආරම්භ කර මහා සංඝරත්නය දේශපාලනඥයන්ගේ අණසකට සවන් දී දේශපාලනඥයන්ගේ අනුග්‍රහය මත යැපුණු තත්ත්වයෙන් මුදවා ගෙන විහාරස්ථාන කැපකරු ක්‍රමයක් හරහා විහාරස්ථාන පද්ධතියේ නිර්මලභාවය තවදුරටත් සුරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ තුළ විවිධ අර්බුදවලට මුහුණදී ඇති විහාරස්ථාන පද්ධතිය ආරක්ෂා වන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ වසර අවසන් වන විට විහාරස්ථාන හා අනෙකුත් ආගමික සිද්ධස්ථානවල සූර්යබල ශක්ති වැඩසටහන් ආරම්භ කර එමඟින් නිර්මාණය වන අතිරික්ත විදුලි බලය ජාතික විදුලි බල පද්ධතියට ලබාදී ආදායම් ලබා ගත හැකි ආකාරයට සකස් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ සංස්කෘතික සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගෙන විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කරන වැඩ පිළිවෙළකට මුල පුරා විදේශීය රටවල ආධාර උපකාර ලබාගෙන විවිධ ඌණතා විෂමතා ප්‍රශ්න ගැටලු‍ ඇති විහාරස්ථානවල ශක්තිය ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා බෞද්ධ රටේත් විහාරස්ථාන වැසී යාමේ අර්බුදයක් ඇතිව තිබෙන බැවින් විහාරස්ථානවලට ස්වාධීන ආර්ථික ශක්තිය ඇති කරගැනීම සුවිශේෂී වැඩසටහනක් අවශ්‍ය බවද කීය.

ගමේ පන්සල නගරයේ පන්සල සුහුරු තාරුණ්‍යය සුහුරු පුරවැසියා බිහි කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවත් ඒ තුළින් විනයගරුක යුක්තිගරුක සංවරශීලී ජනපරපුරක් බිහි කිරීමේ ප්‍රධානම යාන්ත්‍රණයක් බවට පත් කරන බවත් මේ ක්‍රියාදාමයට අනෙකුත් ආගමික සිද්ධස්ථාන උපයෝගී කරගෙන ජාති ආගම් කුල මළ පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපේ රට සැබවින්ම ස්වෛරී, ඒකීය රටක් බවත් ජාතික හා ආගමික සමගිය සංහිඳියාව හා සහෝදරත්වය තුළින් එක්සේසත් වූ රටක් ලෙස ශක්තිමත් කිරීමට සැවොම බැඳී සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment