ඕටී නවතා තෙල් සේවකයෝ වැඩ වරති

148

තෙල් සංස්ථාව විකුණා දැමීමට එරෙහිව කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සීපීඑස්ටීඑල්) මුතුරාජවෙල ඇතුළු තෙල් සේවකයන් දෙදහස් දෙසීයක් පමණ ඊයේ (28 වැනිදා) දහවල් සිට සේවයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබිණි.

මෙනිසා ඊයේ (28 වැනිදා) රාත්‍රියේ සිටම විවිධ ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් ඇති වී තිබූ බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටියේය.

කෙසේ වෙතත් අද (29 වැනිදා) සුපුරුදු පරිදි තමන් සේවයට වාර්තා කරන බවත් එහිදී රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ‘දිවයින’ට කීය.

හදිසියේ ගනු ලැබූ මෙම වැඩ වර්ජන තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථා (සිපෙට්කෝ) සභාපති උවයිස් මොහොමඩ් මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ රට තුළ තෙල් හිඟයක් මතුනොවන බවයි. දහවල් කාලයේදී බෙදාහැරීමට තිබූ ඉන්ධන රථ පිටත් කළ බවත් සේවකයන් යොදවා රාත්‍රි කාලයේදී තවත් තෙල් බවුසර් පනහක් පමණ බෙදාහැරීමට නියමිත බවත් සභාපතිවරයා ඊයේ රාත්‍රි පැවසීය.

සේවකයන් සවස 4.30ට පමණ සේවය නිමකර හදිසියේම සේවාවලින් ඉවත්වීමත් සමග පොලිසිය හා හමුදා කැඳවා එම ආයතන පරිශ්‍රයේ ආරක්‍ෂාව තර කර තිබිණි.

කෙසේ වෙතත් ඇතැම් අංශවල ඉබි යතුරු දමා වසා සේවකයන් පිටව ගොස් තිබූ බව වෘත්තීය සමිති නායකයෝ කියා සිටියහ. ඒ අනුව ඊයේ දිනයේදී බෙදාහැරීමට නියමිතව තිබූ ඉන්ධන බවුසර් දෙසීයක් පමණ බොදාහැරීමට නොහැකි වූ බව වෘත්තීය සමිති නායකයෝ ‘දිවයින’ට පැවසූහ.

දින දෙකක් තිස්සේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් තෙල් සංස්ථාව විකිණීමට එරෙහිව උපවාසයක නිරත වී සිටි අතර ඊයේ දහවල් ගත් තීරණයකට අනුව සේවකයන් සේවාවලින් ඉවත් වීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය හා ප්‍රාදේශීය තෙල් ගබඩාවල පිරිසද සේවයෙන් ඉවත් වී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment