‘කොරෝනා’ ශී‍්‍ර ලංකාවට කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අහිමි කරයි

297

2022 කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අවලංගු කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ. අදාළ තරගාවලි පැවැත්වෙන සිම්බාබ්වේහි මේ වනවිට උද්ගතවී ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුකොට ගනිමින් මෙම තීරණය ගැනීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන ඇති අතර එ් හේතුවෙන් 2022 කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව  ශී‍්‍ර ලංකා කණ්ඩායමට අහිමිව ගියේය.

සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය පෙරේදා (27) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම තරගයද අතහැර දමන ලදී. මීට අමතරව අප‍්‍රිකානු මහද්වීපය තුළ කොවිඞ් -19 නව ප‍්‍රභේදයක් හමුවීමත් සමඟම අප‍්‍රිකානු රටවල් සඳහා ගුවන් ගමන් තහනම් කිරීමට බොහෝමයක් රටවල් පියවර ගෙන තිබෙන අතර මේ නිසාවෙන් සමස්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියම අත්හැර දැමීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. ඒ අනුව 2022 වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා අයි.සී.සී. කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ. මේ නිසාවෙන් අයි. සී.සී පූර්ණ එක්දින සාමාජිකත්වය හිමි, කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්වුණු ශ‍්‍රී ලංකාවට සහ අයර්ලන්තයට 2025 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් ශූරතාවලිය සඳහා තරග කර දස්කම් දක්වා සුදුසුකම් ලබා ගැනීමට සිදුව තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment