බණ්ඩාරගම ඉන්ධන පෝළිමේ සිටි එක් දරු පියාගේ හදවත නවතියි

689

බණ්ඩාරගම රෝහලෙන් ඔක්සිජන් දුන්නා නම් ජීවිතය බේරා ගන්න තිබුණා
කියා හොරණ රෝහලේ දොස්තර නෝනා කිව්වා – බිරිඳ කියයි

බණ්ඩාරගම ප්‍රදේශයේ පිරවුම්හලක දින එකහමාරක් පමණ පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු පපුව රිදෙන බව පවසමින් නිවසට පැමිණ රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

බණ්ඩාරගම, වෑවිට ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ගයාන් ශසික පෙරේරා නමැති 42 හැවිරිදි එක් දරු පියෙක් සිද්ධියෙන් මියගියේය.

විසිතුරු මසුන් අලෙවි කරන්නකු වන ඒ මහතා ඉකුත් 18 දා සිය ත්‍රිරෝද රථයට පෙට්‍රල් ලබා ගැනීම සඳහා බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ගොස් ඇති අතර, නිදි වර්ජිතව පෝළිමේ රැඳී සිට පෙරේදා පස්වරුවේ නිවසට පැමිණ පපුව රිදෙන බව පවසා තිබේ.

එහිදී ඔහු බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී කිසිදු ප්‍රතිකාරයක් නොකර හොරණ මූලික රෝහලට රැගෙන යන ලෙස පැවසූ බවත් අනතුරුව හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් ඔහුගේ මව පවසයි.

මියගිය පුද්ගලයාව පරීක්ෂා කළ හොරණ රෝහලේ වෛද්‍යවරියක පවසා ඇත්තේ බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලෙන් ඔක්සිජන් ලබා දුන්නා නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවය,

ඒ බව හොරණ මූලික රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියගිය අයගේ බිරිඳ සාක්ෂි දෙමින් පැවසූ බව හොරණ හදිසි මරණ පරීක්ෂණයේදී ද අනාවරණය වී ඇත.

දේහය කළුතර, බණ්ඩාරගම පාරේ වෑවිට නිවසේ තැන්පත් කර ඇති අතර, ඊයේ පස්වරුවේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment