සොරාගත් යතුරුපැදිවලින් රන්මාල කොල්ලකෑ – ‘ආනා’ සහ ‘බැකෝවා’ යුක්තියට මාට්ටු

48

වේයන්ගොඩ පොලිසිය විසින් පෙරේදා (09 දා) සිදුකළ විශේෂ වැටලීමකදී දිවයින පුරා කොල්ලකෑම් රැසක් සිදුකළ ‘ආනා’ සහ ‘බැකෝවා’ ලෙස හඳුන්වන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කිහිපයක්, යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 235 ක් සහ අනෙත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගැනිණි. මොවුන් වේයන්ගොඩ සහ නුන්ගමුව පොලිස් බල ප්‍රදේශවල පදිංචි අයවළුන් වේ.

සැකකරුවන් විසින් යතුරුපැදි සොරාගෙන එම යතුරුපැදිවලින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් රන්මාල කොල්ලකෑම් සහ සොරා ගැනීම් සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. නිට්ටඹුව, වේයන්ගොඩ, කිරිබත්ගොඩ, යක්කල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මෙම සැකකරුවන් විසින් කොල්ලකෑම් සිදුකර ඇති බවට අනාවරණය වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (10 දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අසංක රංගන මහතාගේ අධීක්ෂණය යටතේ උ.පො.ප. හෂාන් වීරසිංහ, පො.සැ. වරුන් වන (21360) උඩුගම, (55447) සිසිර, (38881) නිශාන්ත, (45698) ප්‍රසාද්, (56187) පුෂ්පකුමාර, පො.කො. වරුන් වන (87712) දිලංක, (86231) රංග, පො.කො.රි. වරුන් වන (89676) ජයසිංහ, (11216) වීරසූරිය යන නිලධාරීහු වැටලීම සිදු කළහ.
වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment