වී ගොවිතැන ළඟටම ලංකාවේ ප්‍රධානතම ගොවිතැන කුරහන් ගොවිතැනයි. බත හැරුණුවිට පොදු ජනයාගේ සිත් ගත් ඉතාම ජනප්‍රිය ආහාරය වී ඇත්තේ කුරහනයි. මේ මහා ධාන්‍යය ලංකාවේ හා ඉන්දියාවේ තරම් සෙසු රටවල බහු ප්‍රචාරයට ගිය බවක් නොපෙනේ. බත නැති විට ඒ පාඩුව කුරහනෙන් පිරිමැසෙන හෙයින් ධාන්‍යයක් වශයෙන් කුරහනට නිතැතයෙන්ම දෙවැනි තැන හිමිවේ. ආදිම යුගවල උඳු, මුං, තල ආදිය මෙන් මේ ධාන්‍ය ප්‍රචාරයට ගොස් තුබූ බවට පොතපතින් හෝ ශිලා ලිපිවලින් සාධක නොලැබේ. බැලූ බැල්මට කුරහන් – කුරක්කන් යන වචන දෙමළ බසින් ආ සේ පෙනී යයි. එහෙයින් මේ ධාන්‍ය භාරතයෙන් අපට ලැබුණු බව සිතාගත හැකිය.

ගොඩ ගොවිතැන

කවදත් අපේ ප්‍රධාන ගොවිතැන වූයේ උතුම් වී ගොවිතැනයි. සිංහල රාජ බලය පිරිහීයෑමත් සමඟ ඒ රජදරුවන් දිවි දෙවැනි කොට රැකගෙන ආ වැව්, අමුණු සිඳී බිඳී යෑමෙන් පසු වැව් ආශ්‍රිත මහා කෙත් වතු වල් බිහිව ගියහ. මෙයට පසු අපේ ගැමියෝ අප නිශ්චිත ගොඩගොවිතැන කෙරෙහි තම සිත් යොමු කරන්නට පටන් ගත්හ.

වැව් අමුණු සිඳී බිඳී යන්නට ඉඩ හැරීමෙන් පසු බත නැතිවීමෙන් ‘සුන්බත් වූ” අපේ ගොවියෝ වඩ වඩා කුරක්කනේ පිහිට සොයන්නට වූහ. බතට හිමි තැන කුරහනට ලැබීමෙන් පසු අපේ ගැමියන් කුරහනේ පිහිට පැතූ සැටි ඔවුන්ගේ කටින්ම මෙසේ කියවුණේය.

නිවහන් වල වසන බටකොළ සෙවිලිව නේ
යවහන් පද නොදත් පිටිසර අපට අ නේ
සමහන් සැප විඳුමට බල මුළු දෙර නේ
කුරහන් තලප මිස වෙන අහරක් කොයි නේ

කුරහන් තලප

පණ නල රැකගැනීමට කරන සටනේදී අපේ ගැමියෝ කුරහන් ආධාරකොටගෙන ප්‍රධාන ආහාර තුනක් පිළියෙල කර ගත්හ. එනම් කුරහන් තලප, කුරහන් පිට්ටු හා කුරහන් තලපත්ය. මෙයිනුදු තලපවලට ප්‍රධාන තැන හිමිවේ. එය බුදීමට ඇඹුලක්, ආනමක් හා නියඹලාවක් ඕනෑ විය. මෙසේ තලපෙන්, පිට්ටුවෙන් හා රොටියෙන් කුලු ගැන්වෙන කුරහනේ කාර්යය වී ගොවිතැනට වඩා කිහිපාකාරයකින්ම වෙහෙස ගෙනදෙනසුලුය. ශ්‍රම ශක්තිය හීන කරනසුලුය. කම්කටොලුවෙන් ගත සිත අවුල් කරනසුලුය.

වී ගොවිතැනේදී හුදෙක් පිරිමියාටම වැඩි වැඩ කොටස පැවසෙන අතර කුරහන හා සම්බන්ධ කාර්යයෙහිදී ඉතා බර කොටස විශේෂයෙන්ම ස්ත්‍ර්‍රිය කෙරෙහි පැටවේ.

වැඩි වැඩ ස්ත්‍රියට

කුරහන් ගොවිතැනේ මේ බර වැඩ කොටස විශේෂයෙන්ම සුකුමාල පක්ෂය වූ බවලත් පක්ෂය කෙරෙහිම ආරෝපණය වීම එක් අතකින් අසාධාරණයකි. කුරහන, කුරහන් තලපය, කුරහන් පිට්ටුව සහ කුරහන් රොටිය පිළියෙල කිරීමේදී ගම්බද වනිතා පක්ෂය බොහෝ විට ඈලිමෑළිකම් දක්වන්නට පෙර සිටම පුරුදුව සිටියේ ඒ කෑම සෑදීම ලෙහෙසි නොවන බැවිනි. කුරහන් තලපය, පිට්ටුව හෝ රොටිය මුල් කොටගෙන ගැමි ගෙදරවල හබ වියවුල් ඇතිවූ අවස්ථා නැත්තේ නොවේ. කුරහන් හේනේ නෙළුමේදී, කැපුමේදී, පිටි ඇඹරීමේදී, පිට්ටු හෝ රොටි පිළියෙල කිරීමේදී තලප පතුගෑමේදී ගැහැනිය හෙලූ කඳුළු අපමණය. මේ නිසාම “ගැහැනු මරණ පරදාවකි කුරක්කන්” යැයි ගැමියෝම තීරණය කළහ.

දුක් කඳුළු

කුරහන් හේනේ වල් ගෙවඩුදා සිට අස්වැන්න ගෙදරට ගෙනගිය දා දක්වා ද, එතැන් සිට තලපය, පිට්ටුව හා රොටිය පිළියෙල වීමෙන් වැඩේ නිමවීම දක්වා ද ගැහැනිය දුක් වින්දාය. කුරහන නිසා දැඩි වෙහෙසට හා මහන්සියට ද කලකිරිල්ලට ද පත්වූ ඇතැම් ගැමි කතක් දීගය පවා අත් හැර පලා ගියහ.

කුරක්කන් කපති ගොල්ලක් සැදි ලා
අවුල් පවුල් අප්පු අතට දී ලා
කුරක්කන් කපනු මට බෑ කිය ලා
යන්ට වරෙන් ඔය දීගෙන් ඇරි ලා

කුරහන් වැපුරූ දා සිට කපා ගෙට ගන්නා තුරුම ගොවියාට හා ඔහුගේ බිරියටත් ඇති දුක් හිරිහැර කියා නිම කළ නොහැක. මේ ගොවිතැනේ හැම වැඩක්ම එකසේ අසීරුය. ගොවිතැනේ දුක්බර පැත්ත එහෙම පිටින්ම හෙළිවන සේ ගැයූ කවක් මෙසේය:-

පොසොන් ඇසළ යන මාස දෙකේ
සකි හේන් කෙටීමට දඟලන් නේ
ඉතින් මෙහැම අවුරුද්දෙම මෙහෙමයි
වෙහෙස වෙලා බඩ රැක ගන් නේ
මෙවන් මෙදුක මේ අපට පල දුන් නේ
පවින් තමයි පෙර කරපු අනේ
උතුන් මෙ අප මුනිඳුන්නේ සරණින්
මෙගොර දුකින් අප මුදවන් නේ

කුරහන් කැපීම

කුරහන් හේනේ දුක

අනික් හැම වැඩක්ම මෙන්ම කුරහන් කැපුම ද දැඩි ආයාස කර එකකි. එයත් ස්ත්‍රිය කෙරෙහිම පැටවුණේය.

එපයි කියද්දී හිමයක් එළිකර

පෑලක් වපුලා විගසි න්
උපායකින් ගෑනුන් මරවන්නට
කළ දේ හොඳ වද හිතේ තදි න්
අපාය සේ ලෝ වැඩ කරවන්නේ
ගෑනු වෙලා පෙර කළ කරුමෙ න්
කපා දමන්නේ හිමියනි කුරහන්
‘වදනොකරන්” අද පටන් ඉති න්

පිට කොන්ද නවාගෙන නවම් මහේ කකියන තද අව්වේ ඉපල් පහර ලබමින් කුරහන් කපන ලියක දැඩි දුක මෙසේ කියවේ.

කන්ඩ සවස වියදම් තනවාගෙන
ගෙනෙන්න තණ බත උයාගෙ නේ
ඉන්ඩ බැරිව මගෙ සියොගත දනවා
නොපෙනනවද සූරිය රජු නේ
කෙණ්ඩ පතුල් දෙක ඉදිමෙන්නෙන්
බැරි හිටගෙන කුරහන් කපන තැ නේ
යන්ට රටක් වෙන කොතනක ඇද්දෝ
කුරහන් නොකපන රටක් අනේ

රුහුණේ කතකට රටගම එපාවීම

රුහුණේ කතකට රුහුණ තිත්ත වීමට එක් හේතුවක් වූයේ රුහුණේ කුරහන් හේන්වල ඇති අපමණ වැඩපළ නිසාය. කුරහන් නොවපු රණ එහෙත් වී ගොවිතැන් කෙරෙන රටකට යන්නට ඇය පතන්නේ කුරක්කනෙන් ලැබූ අප්‍රමාණ දුක් ගැහැට මතක් වන නිසාය. සියලු යස ඉසුරෙන් පිරි සිදාදියක් යැයි සිතා කොළඹටවත් යන්නට ඇත්නම් මැනවැයි ඇයට සිතුණේ කොළඹ කුරහන් නොකපන රටකැයි ඇය අසා ඇති බැවිනි.

කොළඹට නුදුරුව ගාලු පළාතේ පැසෙන්නෙ
ගොයමයි දැනගන් නේ
කලකට සිටලා ගොයන් කරති ඒ
රටවල්වල, රෙකුලාසි දැ නේ
මලකට එන බඹරුන් සේ ඇවිදින්
වෙල්වල වැඩ කරනවයි ගුනේ
කොළඹට යමු අපි එකතු වෙලා සිට කුරහන්
නොකපන රටකි අනේ

මේ අහිංසක ගැමි කත කොළඹට යන්නට පතන්නේ එය කුරහන් නොකපන රටක් යැයි අසා ඇති බැවිනි. ඇය කොළඹ ගැන අසා ඇත්තේ කුරහන් නොකපන සිදාදියක් ලෙසිනි. රුහුණේ කුරහන් හේන්වල ආමෝද විහිදුවන මිහිරි සුගන්ධය ඇයට නොදැනෙන්නේ තමන් ගතකරන කටුක දිවිය නිසාය. එහෙත් ඒ කටුක චාම් දිවිය කොළඹ ඉසුරු බර අස්වාභාවික ජීවිතයට වඩා සිය දහස් වාරයක් උතුම් බව ඇයට වටහා ගන්නට විධියක් නොවීම පාඩුවකි.

● පීටර් විජේසිංහ
(1962 ලියන ලද්දකි.)

advertistmentadvertistment
advertistmentadvertistment