දිවියාගහ යසස්සි නාහිමිපාණෝ උපාධ්‍යාය පදවියෙන් පිදුම් ලබති

120

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනාධිපති, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයයේ හිටපු විදුහල්පති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නිර්මල තම පැවිදි දිවිය තුළින් සිදුකරන උදාර ජාතික, ආගමික, ශාසනික සේවාව අගයමින් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව මගින් අ‘උපාධ්‍යාය’ පදවියට පත්කොට ඇත. උන්වහන්සේගේ උසස් සේවය අගයමින් මල්වතු මහා විහාරය මගින් 1998 දී ද කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිරකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් ‘ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප’ ගෞරව නාමයත්, 2020 දී මැලේසියාවේ ලින්කන් විශ්වවිද්‍යාලය මගින් ‘ආචාර්ය’ උපාධියත් උන්වහන්සේ වෙත පිරිනමන ලදී.

මෙවර ‘උපාධ්‍යාය’ පදවිය පිරිනැමීමේ උත්සවය අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 24 වන දින පෙරවරු 09.00 ට මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත උපෝසථාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සිතුල්පව්ව රාජමහා විහාරාධිපති උපාධ්‍යාය පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමි, අත්තනගල්ල රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද නාහිමි, රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති විද්‍යෝදය පිරිවෙණේ කෘත්‍යාධිකාරි ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නාහිමි, විද්‍යාලංකාර පිරිවෙන්පති ශාස්ත්‍රපති පූජ්‍ය වැලමිටියාවේ ඤාණරතන නාහිමි ඇතුළු සම්භාවනීය නායක ස්වාමීන් වහන්සේලා ද අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා හා එම මහත්මිය ද බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානානයක මහතා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජා ගුණවර්ධන මහතා සහ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ. මෙදින ම සාමණේර හිමිවරුන් කිහිප නමක් උපසම්පදා කිරීමේ විනය කර්මය පූජ්‍ය යසස්සි නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සිදුකිරීම ද වැදගත් සිදුවීමකි. අභිනව උපාධ්‍යාය ධුරයට පත් වූ ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ආශිර්වාද පළ කිරීමේ විශේෂ පූජාවක් එදින සවස 5.30 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත් වුණි. ජුනි මස 25 වන දින සවස 06.00 ට පන්නිපිටිය දෙව්රම් මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සුමන පාර්ශ්වයේ මහානායක පූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස බෞද්ධායතනයේ දී ආශිර්වාද පළ කිරීම සඳහා අටවිසි ගිලන්පස පූජාවක් විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment