මජර දේශපාලනයට එරෙහිව නැගිටින විලන්

96

මැයි 09 වැනිදා නූලෙන් බේරුණේ – කැලුම් ආර්යන්

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ නැගී එන නවක, දක්ෂ රංගන ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු, තිර පිටපත් රචකයකු මෙන්ම නිෂ්පාදකවරයකු වන කැලුම් ආර්යන්ගේ නවතම සිනමා නිර්මාණය වන “විලන්” සිනමා පටය මේ දිනවල සිනමා ශාලාවල තිරගත වේ. ‘විලන්’ සිනමා පටය පිළිබඳව සහ එය රූගත කිරීම් කිරීමේදී සිදු වූ අපූරු සිදුවීම් පිළිබඳව කතා කරන්නට කැලුම් මෙවර මීවිත අපත් සමඟ කතා බහක යෙදුණේ මෙලෙසිනි.

● ඔබ රංගනයෙන් දායක වූ “විලන්” චිත්‍රපටය මේ වන විට තිරගත වෙනවා. ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම පළවෙනි සති අන්තය විදිහට ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. දැනටමත් සිනමා ශාලාවලින් හොඳ ඉල්ලුමක් තියෙනවා “විලන්” චිත්‍රපටයට.

මජර දේශපාලනයට එරෙහිව නැගිටින විලන්

●“විලන්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙත් ඔබනේ. අපි මේ චරිතය ගැන කතා කළොත්?

ඔව්. විලන් කියන්නේ, දුෂ්ටයා කිව්වට ඇත්තටම මේ කතාව ඇතුලේ සෑහෙන පරාසයකට විහිදෙන චරිතයක්. එක් විටක සහෝදරයෙක්, තවත් විටෙක පුතෙක්, ආදරවන්තයෙක්, සටන්කාමියෙක් සහ දුෂ්ටයෙක්. ඉතින් මේ සියලුම චරිත සංකලනය වෙලා නිර්මාණය වුණ, නළුවෙක්ට ලැබෙන හොඳ චරිතයක් තමයි මේ. සිනමාවේ දෙයක් කරන්න පුළුවන් මම ඉතාමත් ආසාවෙන් කරපු චරිතයක් තමයි මේ ‘විලන්’ගේ චරිතය.

මජර දේශපාලනයට එරෙහිව නැගිටින විලන්

● මෙහි පිටපත ලියන්නෙත් ඔබම නේද?

ඔව්. ඒකත් මගේම පිටපතක්. පිටපත ලියන්න ඇත්තටම අදහස ආවේ, පසුගිය කාලයේ රටේ තිබුණ දේශපාලන අරගලය නිසා. ඒ අරගලය කාලේ සාමාන්‍ය ජනතාව සෑහෙන දුක් වින්දා, රටේ තිබුණ ආර්ථික තත්ත්වයත් එක්ක. ඒ කාලේ වැඩ නැතුව අපි ගෙවල්වලට වෙලා ඉන්න කාලේ මගේ ඔළුවට ආපු අදහසක් තමයි මේක. මට ඕනෑවුණේ, දේශපාලන අධිකාරියේ තියෙන අසාධාරණකම්, සොරකම් සහ මිනිසුන්ව පීඩාකාරී තත්ත්වයන්ට පත් කරන දේවල්වලට අපට යම්කිසි විදියකට හඬක් නගන්න පුළුවන් නිර්මාණයක් කරන්න. ඒකත් එක්ක තමයි මේ “විලන්” කියන චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මේ රටේ දූෂිත දේශපාලනඥයින්ට විරුද්ධව දෙයක් කරන්න සිනමාව භාවිතා කරන්න තමයි මට ඇත්තටම අවශ්‍ය වුණේ.

මජර දේශපාලනයට එරෙහිව නැගිටින විලන්

● විලන් කියන්නේ, දේශපාලනයට විරුද්ධව නැගෙන හඬක්ද?

ඇත්තටම ඔව්. මජර දේශපාලනය නිසා දේශපාලනඥයින් ගේ නොහොබිනා ක්‍රියාවන්ට පාඩමක් උගන්වන්න පුළුවන්, මිනිස්සු බලාපොරොත්තු වන විදිහේ දඬුවමක් දෙන්න පුළුවන් කතාවක්.

● විලන් නිෂ්පාදනය කරන්නෙත් ඔබමයි. ඔබ රංගනයේ යෙදෙන නිසාමද නිෂ්පාදනය කරන්න හිතුවේ?

මට මේකට වෙන නිෂ්පාදකවරයෙක් හිටියේ නැහැ. මම සහ ලස්සන ජයසේකර අධ්‍යක්ෂවරයා මෙහි සම නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මම හිතුවා මට මේක කරන්න හැකියාව තියෙනවා, ඒ නිසා මම ම නිෂ්පාදනය කරනවා කියලා. ඇත්තටම මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ නිර්මාණය ගැන.

● මෙය ටිකක් ක්‍රියාදාම චිත්‍රපටයක් නිසා රූගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

ඇත්තටම බිහිසුණු අත්දැකීම් එහෙම තියෙනවා. තව අපි කරපු කාලවකවානුවත් එක්ක ගොඩක් පෙට්‍රල්, ඩීසල් නැතුව, ප්‍රවාහන පහසුකම් නැතුව ඉතාමත් දුෂ්කර විදියට තමයි මේ චිත්‍රපටය රූගත කිරීම් කළේ. ඒ වගේම ක්‍රියාදාම රඟපානකොට සෑහෙන්න අපහසුතාවන්ටත් පත්වුණා.

● මේ දිනවල ඔබ අතින් සිදුවන වෙනත් නිර්මාණ මොනවද?

“රෙඩ්”, “ආදරණීය සිහිනයක්” නමින් චිත්‍රපට දෙකක් කරලා අවසන්. ඒ දෙකේ වැඩ අවසන් කරලයි තියෙන්නේ. තවත් එක් චිත්‍රපටයක් තවම කරනවා. ඒකේ රූගත කිරීම් දැනට නවත්තලා තියෙනවා මගේ මේ “විලන්” චිත්‍රපටය තිරගත වන නිසා. ඉතින් ඒ නිර්මාණ ටික තමයි දැනට කරන්නේ.

● අරගලය දිනවල ෂූටින් කරපු විදිය ගැනත් මතක් කරමු?

ඇත්තටම අරගලය කාලේ ෂූටින් කරලා ලොකු අත්දැකීමක් ලැබුවා. අරගලයේ උච්චතම අවස්ථාව මැයි 09 වැනිදා අපි මීගමුවේ සටන් ජවනිකාවක් රූගත කරමින් සිටියේ. එදා ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර්, ඪ 8 වර්ගයේ වාහන රැසකුත් අපි ගෙනාවා දර්ශන තලයට. ඉතිං ෂූටින් ඉවරවෙලා අපි ආපහු එන වෙලාවේ සෑහෙන ප්‍රශ්නවලට අපට මුහුණ දෙන්න සිදුවුණා. මොකද ඇමැතිලාගේ වාහන වගේ නිසා වාහන නතර කරලා ගහන්න හැදුවා අපිට. එදා බොහෝම අමාරුවෙන් බේරිලා ආවේ. තවත් එවැනි බොහෝ දේ සිදුවුණා. ඉතිං ඒ සියල්ලම අමතක නොවන සිදුවීම් රැසක් විදිහට කියන්න පුළුවන්.

● චිත්‍රපටයක් කරනවාට වඩා අපහසුයි නේද එය ප්‍රදර්ශනය කරන එක?

ඇත්තටම ඒක තමයි අමාරුම දේ. මොකද අපි නව අදහසක් එක්ක චිත්‍රපටයක් කළාට එය ප්‍රදර්ශනය කරද්දි එතැන ඉන්නේ පරණ අදහස් තියෙන මිනිස්සුනේ. එතකොට ඒ මිනිස්සුන් ගේ හිත් සතුටු කරන්නත් ඕනේ. මොකද ඒ අය නිර්මාණයකින් බලාපොරොත්තු වෙන දේවල් අපි ක්‍රියාවට නංවන්න ඕනෑ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. තව සිනමා ශාලා ලබා ගැනීමේදීත් ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද මෙතැන වෙනම මාෆියාවක් වගේ යනවා. අපි වගේ නවකයින්ට දෙයක් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ දේවලුත් විසඳගෙන බොහොම අමාරුවෙන් උඩුගම් බලා පීනනවා වගේ වැඩක් තමයි වෙන්නේ.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment