පෙම් පළහිලව්ව දුරදිග ගොස් ගෙල කපා මැරූ තරුණියගේ ඝාතකයා සාක්කුවේ ලේ පැල්ලමෙන් කොටු

165

හෝමාගම පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (08 දා) අලුයම වයස අවුරුදු 22 ක තරුණියකගේ ගෙල කපා ඝාතනය කර ඇති බවත්, ඝාතනය සිදුකළ බවට සැක කරන පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටියදී ඊයේ (08 දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බවත් කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය. හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අචිනි තුෂාරි නමැති 22 හැවිරිදි තරුණියක ඊයේ අලුයම හෝමාගම උසාවිය පාරේදී ගෙල කපා ඝාතනය කර ඇති බව වාර්තා වන බව කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බවට වාර්තා වේ. සැකකරු ඊයේ අලුයම කළුතර, නාගොඩ රෝහලට ඇතුළත්ව ඇති බවත්, ඔහුගේ කමිස සාක්කුවේ ලේ පැල්ලමක් දක්නට ලැබීමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ. සැකකරු පොලිසිය ආරක්ෂාව යටතේ කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ උපදෙස් පරිදි, මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ සිදු කරන බවත්, සැකකරු හෝමාගම පොලිසියට භාරදීමට නියමිතව ඇති බවත් සඳහන් වේ.
වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment