සිංහල නාට්‍ය කලාව වැල්පාලමෙන් එගොඩ කළ හුණුවටයේ අසඩක් – හෙ න් රි ජ ය සේ න

289

නොවැම්බර් 11 වැනි දිනට යෙදෙන අග්‍රගණ්‍ය කලාකරු හෙන්රි ජයසේනයන්ගේ 14 වැනි ගුණසමරුව නිමිත්තෙනි

“දෙයක් වේ නම් යම් – සුදුස්සාටම අයිති විය යුතු
කීලෙස දන පොරණ – ලැබිය යුතු අයමය ලැබිය යුතු”

ශ්‍රී ලාංකේය කලා කෙතෙහි පහළ වූ ප්‍රතිභාසම්පන්න මහා කලාකරුවකු වූ ඔහු වරෙක ගම්පෙරළියේ පියල්, බැද්දේගම ආරච්චි මහත්තයා, හුණුවටයේ අසඩක් විය. තවත් වරෙක හඳයා හි පෙරේරා මහත්තයා ද, හංස විලක් හි ඩග්ලස් ලෙස ද අප හමුවට පැමිණියේය. මේ හැම චරිතයකටම වඩා නූතන පරපුර ඔහුව හොඳින්ම හඳුනාගත්තේ දූදරුවෝ ටෙලි නාට්‍යයේ ‘සුදුසීයා’ ලෙසය.

සාහිත්‍යකරුවකු හා පරිවර්තන ලේඛකයකු ලෙස ද, සිසු පරපුරකට මග කියාදුන් ගුරුවරයකු ලෙස ද, වේදිකාවේ ද රූපවාහිනියේ ද සිනමාවේ ද එකසේ සුරුවිරුකම් පෑ මහා රංගධරයකු ලෙස ද ප්‍රේක්ෂක විචාරක සම්භාවනාවට පාත්‍ර වූ ඔහු හෙන්රි ජයසේන නම් විය.

‘දෙයක් වේ නම් එය සුදුස්සටම අයිති විය යුතු’ යැයි නිතර පසක් කළ ආචාර්ය හෙන්රි ජයසේනයන් මෙරට කලා රසික ප්‍රජාව තනිකොට ජීවන ගමනට සමුදී නික්ම ගොස් 2023 නොවැම්බර් 11 වැනිදාට වසර 14 ක් සපිරේ. මේ අග්‍රගණ්‍ය කලාකරුවා නික්ම ගොස් දශක එකහමාරකට ආසන්න වී තිබියදී පවා, ඒ අහිමි වීමෙන් කලා ලොව තුළ ඇතිවූ දැවැන්ත හිඩැස පිරවීමට කිසිවකුට නොහැකි වී ඇති බව අපගේ විශ්වාසයයි.

බෙන් සිරිමාන්නගෙන් පසු දෙවැනි මනමේ කුමරු ලෙස රංගාභිෂේකය ලැබූ හෙන්රි ජයසේනයන් මෙරට නාට්‍ය කලාවේ ප්‍රගමනයට කැපවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා. සයිමන් නවගත්තේගම, ආර්. ආර්. සමරකෝන්, ජයලත් මනෝරත්න, ගාමිණි හත්තෙට්ටුවගම, බන්දුල ජයවර්ධන, සුනන්ද මහේන්ද්‍ර, ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත්සිංහල, ධම්ම ජාගොඩ, ජී. ඩී. එල්. පෙරේරා, බන්දුල විතානගේ, කේ. බී. හේරත්, සෝමලතා සුභසිංහ, පුණ්‍යසේන ගුණසිංහ වැනි දැවැන්තයන් සමගින් ඉදිරි පෙළේ නම සටහන් කරගත් ප්‍රමුඛයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

1931 ජූලි 06 වැනිදා ගම්පහ බැන්ඩියමුල්ල ග්‍රාමයේ උපන් හෙන්රි ජයසේනයන් බැන්ඩියමුල්ල රෝමානු කතෝලික විදුහලෙන් මූලික අධ්‍යාපනය ද, ගම්පහ ලෝරන්ස් විiාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ද, කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල් වලින් උසස් අධ්‍යාපනය ද ලැබීය. ඔහු කලා ලොව මුලකුරු කියැවූයේ පාසල් වියේදීම ගුවන්විදුලියේ ‘සිරි අයියාගේ ළමා පිටිය’ට සහභාගි වෙමිනි.

එකල නාලන්දාවේ ගුරුමණ්ඩලයේ සිටි සිරි අයියා (යූ. ඒ. එස්. පෙරේරා) නිෂ්පාදනය කළ ‘හරිශ්චන්ද්‍ර’ නාට්‍යයේ කුඩා රෝහිත කුමරුගේ චරිතය හෙන්රිගේ මුල්ම රංගනය විය. 1947 දී ඔහුගේ එම මුල්ම රංගනය දුටු එදවස රට පිළිගත් මහා වියත් පඬිවරයකු වූ ගුණපාල මලලසේකර මහාචාර්යතුමන් සිරි අයියා අමතා මෙසේ පැවසීය.

“This boy has a good future as an actor”

පාසල් අධ්‍යාපනයෙන් පසු කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ ලිපිකරුවකු හා සෙවුම් නිලධාරියකු ලෙස තාවකාලිකව සේවය කළේය. අධ්‍යාපන සුදුසුකම් මත 1950 දී තම පළමු රැකියාව ලෙස පත්වීම් ලබා සේවයට එක්වූයේ නුවරඑළිය, හඟුරන්කෙත දිසාවේ, පදියපැලැල්ල දෙහිපෙ ගම්මානයේ සිංහල ප්‍රාථමික පාසලේ ඉංග්‍රීසි උප ගුරුවරයකු වශයෙනි.

ඇල්බට් රොඩි්‍රගෝ ජයසේනගේ පුත්‍රයකු මෙන්ම, සහෝදර සහෝදරියන් පස්දෙනකුගේ බාල සොහොයුරා වූ හෙන්රි, ගම්පහ ලෝරන්ස් කොලීජියෙන් සහ කොළඹ නාලන්දාවෙන් ලැබූ අධ්‍යාපනික හැකියාවන් මෙන්ම, ප්‍රගුණ කළ නාට්‍ය කුසලතාවන් දෙහිපේ නමැති දුෂ්කර ගම්මානයේ දරු පරපුර වෙනුවෙන් කැප කළේය. 1951 දී තම ප්‍රථම නාට්‍ය නිර්මාණය වූ ‘ජානකී’ කරළියට ගෙන ආවේ දෙහිපේ දරු දැරියන් වෙනුවෙනි. එලෙස සිය කුළුඳුල් නාට්‍යය වේදිකාගත කළේ පැට්‍රොල් මැක්ස් ලාම්පු ආලෝකයෙන් ඩෙස් බංකු මත තැනූ වේදිකාවක පාසල් දරු පිරිසක් සහභාගි කරගෙනය.

1953 දී තම ප්‍රථම අනුවර්තන නාට්‍යය වශයෙන් ඉංග්‍රීසි කිවිවර පී. බී. ෂෙරීඩන්ගේ ‘ද රයිවල්ස්’ නම් ප්‍රහසනයේ අනුවර්තනයක් ලෙස ‘මනමාලයෝ’ නිපදවීය. 1954 දී ඔහු ඔස්කාර් වයිල්ඩ්ගේ නාට්‍යයක අනුවර්තනයක් ‘වැදගත්කම’ නමින් නිර්මාණය කළේය. අනතුරුව ඔහු ‘ඇත්ත කුමක්ද’, ‘පව්කාරයෝ’ වැනි නාට්‍ය වේදිකාවට ගෙන ආවේ සිංහල නාට්‍ය වංශයේ දැවැන්තයකු බිහිවීමේ පෙරමඟ සලකුණු තබමිනි.

මෙරට සිනමාවට තාත්ත්වික රංගවේදය හඳුන්වා දුන් ප්‍රමුඛයකු වූ හෙන්රි ජයසේනයන් බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්තකරණ රංග රීතිය මෙරට වේදිකාවට හඳුන්වා දුන් පුරෝගාමියා ද විය. සිනමාවටත් රූපවාහිනියටත් වඩා ඔහු වේදිකාවට පෙම් බැන්දේය. ‘මට වේදිකාව හැර වෙන තැන් වැඩිය දිරවන්නේ නෑ. වේදිකාව කියන්නේ මිනිහකුට මිනිහෙක් හමුවන දහදිය ගඳ සුවඳ හොඳට හඳුනාගත හැකි තැනක්’ ඔහු වරක් පැවසීය.

ඔහුගේ ‘හුණුවටයේ කතාව’ දශක පහක් පුරා අඛණ්ඩව මෙරට වේදිකාවේ රංගගත වීමත්, ඊට නාට්‍ය රසික ප්‍රජාව තුළ තිබෙන නොසිඳෙන ඇල්ම හා ආකර්ෂණයත් ඒ බව මනාව තහවුරු කරයි. හෙන්රි ජයසේනයන් කුමන අරුතකින් ඉහත ප්‍රකාශය සිදු කළ ද එතුමන්ගේ සිනමා රංගන දිවිය ඔස්සේ මෙරට සිනමා වංශ කතාවේ අමරණීය මතකයන් රැසක් සටහන් කරන්නට සමත් වූ බව ද අපට අමතක කළ නොහැක.

“මම චිත්‍රපට විසි ගණනක විතරයි රඟපෑවේ. එහෙම වුණේ මම වේදිකාවට කැපවූ මිනිසෙක් වූ නිසයි.” ඒ එදා ඔහු අප සමග කියූ කතාවකි.

1959 මැයි 05 වැනිදා තිරගත වූ ප්‍රේම්නාත් මොරායස් අධ්‍යක්‍ෂණ්‍ය කළ ‘ශ්‍රී 296’ සහ එම වසරේම ජූලි 24 වැනිදා තිරගත කළ ජෝතිශ් සිංහ, ටී. සෝමසේකරන් යන දෙදෙනා අධ්‍යක්‍ෂණය කළ ‘ගැහැනු ගැට’ චිත්‍රපට වලින් ඔහුගේ සිනමා දිවිය ඇරඹිණි. 1963 දෙසැම්බර් 21 දා තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ පියල් ලෙසින් රඟපෑ හෙන්රි ජයසේනයන් ප්‍රේක්ෂක ගෞරවාදරයට පාත්‍ර විය. 1963 දීම වෙන ස්වර්ගයක් කුමටද, සුහද සොහොයුරෝ, 1964 දී හෙට ප්‍රමාද වැඩියි, 1968 දී දහසක් සිතුවිලි, 1980 දී හංස විලක්, 1981 දී සොල්දාදු උන්නැහේ, 1979 දී හඳයා, 1983 දී කලියුගය, පළඟැටියෝ, අම්මයි දුවයි (1984), සඳකඩ පහණ (1988) වැනි සිනමා නිර්මාණවලදී ඔහු ප්‍රකට කළ ප්‍රතිභාන්විත බව සිංහල සිනමාවේ නොමැකෙන අයුරින් සටහන් වී තිබේ.

ධර්මසිරි බණ්ඩාරනායකගේ අධ්‍යක්‍ෂණයක් වූ ‘හංස විලක්’ හි ඔහුගේ රංගනය උදෙසා 1980 වසරේ දී හොඳම සහය නළුවාට හිමි සරසවි සම්මානය හිමි විය.

තම නාට්‍ය දිවියේ සහකාරිය (කුවේණි සහ ගෲෂා) වූ මානෙල් ඉලංගකෝන්, හෙන්රි ජයසේනයන් තම සැබෑ දිවියේ ද සහකාරිය කරගනු ලැබුවේ 1962 දීය. මානෙල් සමග ඇරඹූ යුගදිවිය හෙන්රිගේ නාට්‍ය දිවිය නව මානයකට රැගෙන යෑමට හේතු වූ බව නම් නොකියාම බැරිය.

1962 දී ‘ජනේලය’ නිර්මාණය කරමින් හෙන්රි ඇරඹූ කරළියේ පෙරළිය තුළින් බිහිවූ කුවේණි (1962), තවත් උදෑසනක් (1964), මනරංජන වැඩවර්ජන (1965), අහස් මාලිගා (1966), හුණුවටයේ කතාව (1967), අපට පුතේ මඟක් නැතේ (1968), දිරිය මව සහ ඇගේ දරුවෝ (1972), මකරා (1973), සරණ සියොත් සේ පුතුනි හඹායන (1975), සිරිසඟබෝ (1978), ජයතු ලංකා (1983) වැනි නිර්මාණ ඔස්සේ හෙළ කලා කෙත අපමණ පෝෂණයක් ලැබීය.

අසූව දශකයේ ආරම්භයත් සමගින් ජාතික තරුණ සේවා සභාවේ කලා හා ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ලෙසත්, ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයත් හෙබවූ ඔහු රාජකාරිය නිසි පරිදි ඉටුකළ පරිපාලකයකු විය. ඔහුගේ අව්‍යාජ නිරහංකාර ගුණය, සුහදශීලී බව ඒ සෑම තැන්හිදීම දක්නට ලැබිණි.

පසු කලෙක ඔහු සාහිත්‍යකරුවකු, ලේඛකයකු ලෙස ග්‍රන්ථ රැසක් පාඨකයා හමුවට රැගෙන ආවේය. මිනිසුන් වූ දරුවෝ (1965), ළමා සිහිත්‍ය කෘති වන හිතට හිතෙන කවි (1972), කතන්දරේ හැංගිලා (1979), රැව් පිළිරැව්, කරළියක කතාවක් (1993), නිම්නැති කතාවක් (1996), නිළියකගේ කතාවක්, ලාසරස් (1999), නාට්‍ය නිෂ්පාදනය (1981), බාල්හ ගිලානෝ හෙවත් රෝගියකුගේ කතාවක් ඇතුළු නවකතා සහ චරිතාපදාන ද නාට්‍ය පිටපත් වශයෙන් ජනේලය, කුවේණි, හුණුවටයේ කතාව, දිරිය මව සහ ඇගේ දරුවෝ, අපට පුතේ මඟක් නැතේ, මකරා, පුංචි පළිඟු රෑන, දෙව්ලොව ගිය ශිෂ්‍ය භටයෝ ආදී විවිධ සාහිත්‍ය ශානරයන්ට අයත් ග්‍රන්ථ රැසක් රචනා කළේය.

2003 සැප්තැම්බර් 27 වැනිදා නාලන්ද විiාලය හෙන්රි ජයසේනයන් වෙත ‘නාලන්ද කීර්ති ශ්‍රී’ සම්මානය ප්‍රදානය කරමින් ගෞරව උපහාර දැක්වීය. 1999 දී පමණ රෝගාතුර වූ ජයසේනයන්ට තම බිරිඳ මානෙල් ජයසේන (ගෲෂා) ගේ හදිසි වියෝව දරාගත නොහැකි මොහොතක් විය. 2004 ජූලි 24 දා මානෙල් මහත්මියගේ වියෝව සිදු වූයේ වසර 42ක විවාහ දිවිය නිමා කරමිනි. ඔවුන් දෙදෙනාගේ පුත්‍රරත්නය වන සුදාරක ජයසේන ද තම පියා වේදිකාවේ අසඩක් වෙද්දී කුඩා මයිකල් කුමරුගේ චරිතයට පණපෙවීය. පසුව සුදාරක ටෙලි නිර්මාණ රැසකට දායක විය.

කුඩා වියේදී තම වැඩිහිටියන්ට හොරෙන් ගොස් ගම්පහදී බී. ඒ. ඩබ්ලිව්. සහ එඩී ජයමාන්න සොහොයුරන්, රුක්මණී දේවිය ප්‍රමුඛ මිනර්වා කණ්ඩායම රඟපෑ ‘සැඟවුණු පිළිතුර’ නරඹා කලාව කෙරෙහි ඇල්මක් ඇතිකරගත් පසුව මහා රංගධරයකු බවට පත්ව අපේ පරපුරේ ආදරණීය සුදුසීයා වූ හෙන්රි ජයසේන නමැති මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා අපෙන් වෙන්ව ගියේ 2009 නොවැම්බර් 11 වැනිදාය. හෙන්රි ජයසේනයන්ගේ නිර්මාණ පෙළ වෙත අවධානය යොමු කරන මෙරට බහුතර විචාරක පිරිස ඔහුගේ අග්‍රගණ්‍ය නිර්මාණ ද්විත්වය වශයෙන් හඳුන්වන්නේ කුවේණි සහ හුණුවටයේ කතාව වේදිකා නාට්‍ය ද්විත්වයයි.

‘කුවේණි’ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය තිස්ස කාරියවසම් මෙසේ සටහන් කර තිබේ.

“නූතන සිංහල නාට්‍ය රසිකයන් සොයා ගිය ගමන් මඟෙහි, නාට්‍ය පෙළ රචනය සම්බන්ධයෙන් ද, නිෂ්පාදනය සම්බන්ධයෙන් ද හෙන්රි ජයසේනයන් කළ අත්හදාබැලීම්වල ප්‍රතිඵල සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රයෙහි අනුස්මරණීය පියසටහන් වේ.

නාට්‍ය සාහිත්‍යය සිංහලයෙන් වර්ධනය වීම පිළිබඳ අධ්‍යයනය කරන විද්වතුන්ට ද, නාට්‍ය රසිකයන්ට ද, සාමාන්‍ය පාඨකයන්ට ද ‘කුවේණි’ පෙළ කියවීමෙන් ලබාගත හැකි ආස්වාදය චිරාත් කාලයක් ඔවුන්ට ආනන්දය ලබාදෙනු ඇත.

සැබවින්ම කුවේණි නමැති සම්මානිත ස්වතන්ත්‍ර නාට්‍යය විජය – කුවේණි ඓතිහාසික කතා පුවත පදනම්ව සදාතනික මනුෂ්‍යත්වය පිළිබඳව ගැඹුරු අර්ථකථනයක් ඉදිරිපත් කරන නිර්මාණයකි. හෙන්රි ජයසේනයන් එය නිර්මාණය කළේ ශෛලිගත හා තාත්ත්වික සම්ප්‍රදායේ මිශ්‍ර ආකෘතියකිනි. සිය සැමියාගේ (විජය රජු) පරිභවයට ලක්ව දුක් පීඩා විඳිමින් දරුවන් ලබමින්, හදමින් තමන් උපන් සමාජයේ ගැරහුම් අපහාස ලබන්නා වූ ස්ත්‍රියක් පිළිබඳව දයානුකම්පිත දෘෂ්ටියකින් බැලූ ‘කුවේණි’ සර්වකාලීන නාට්‍යයකි.

මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවකු ලෙස සැලකෙන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ‘ද කොකේෂියන් චෝක් සර්කල්’(The Caucasian chalk circle) නමැති ජගත් සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යය රචනා කරන්නේ හිට්ලර්ගේ නාසි හමුදාවෙන් දිවි බේරා ගැනීමට රටින් පලා යන අවධියේදීය. එම නිර්මාණය ශ්‍රී ලාංකීය අපට සුවිශේෂී නිර්මාණයක් බවට පත්වූයේ මීට දශක කීපයකට ඉහතදී හෙන්රි ජයසේනයන් අතින් ‘හුණුවටයේ කතාව’ නමින් එය සිංහලෙන් ප්‍රතිනිර්මාණය වීම නිසාය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු නාට්‍ය ද්විත්වයෙන් හා සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස නාට්‍යයෙන් අනතුරුව හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව’ තරම් මෙරට ජන සමාජයට බලපෑමක් ඇති කළ, ප්‍රේක්ෂක සමූහයා වැළඳගත් නාට්‍ය නිර්මාණ බිහිවූවා නම් ඒ ඉතා ස්වල්ප සංඛ්‍යාවකි.

සටහන:- සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment