ආයු බෝ වේවා… උම්බෑ ජාතකය

309

ඉක්බිති දිනෙක මඤ්ඤංලන්ත මහරජාණෝ දියවනා හොය තරණ කොට පා සක්මනින්ම රාජ සභාව වෙත සම්ප‍්‍රාප්ත වනුයෙ, ‘අපටත් රජෙක් පහළවැ ඇතේ’යි යනුවෙන් මනා සුරු වූ ගැයුමක් සවනත වැකෙනුයේ රජසබවරණ සටන සිහිපත්වැ එකී ප‍්‍රශස්ති ගීය යළි කවරෙකු ගයත්දැයි මහත් වූ විශ්මයෙන් සවන් යොමා තුමුනට පමණෙක් ඇසෙනා ශ‍්‍රව්‍ය මායාවෙක්දැයි වටහාගත නොහී මඳක් තාවරවැ හිඳ බුකී වනයෙහි සරන්නෙකු හඬනගා තුමුනට කෝචොක ගැයුමක් කෙරෙත්දැයි විළියෙන් යුතුවැ ඔබ මොබ බැලූ කල්හි එකී සමූහ ගැයුම නැගෙනුයේ රාජ සභාව දෙසින් බැව් හඳුනාගෙනැ විපරම් කොට බලනුයේ රාජ සභා පිය ගැට මත්තෙහි උක්කුටිකයෙන්ද, දපා ද, තප්පලම් කොට ද තන්හි තන්හි හිඳිනා රාජ සභිකයන් කැළ දැකැ, උනට අහවල් වූ දැයක් සිදුව ඇතිදැයි සිතාගත නොහී, ”එම්බල සභිකයනි, තෙපි මහත් වූ සතොසින් සිටිනා බැව් පෙනෙනායැ. ඒ කවර වූ සතොසක්දැ?’යි අසනාහ. එබස් ඇසූ රාජ සභික මානවකයෝ හදිසියේ ප‍්‍රාදුර්භූත වූ මහරජාණන් දැකැ අන්ද මන්දවැ ගොස් තුමූ මුවින් නොහොබනා යමෙක් කියවුණා සේ විචිකිච්ඡාවෙන් එකල මෙකලව මුහුණු සඟවා ගනිමින් එකිනෙකා අත්වැල් පවුරෙහිදැ කුලූනු පාදමෙහිදැ සැඟැවෙමින් ඇඹරෙනා බැව් දැකැ, ”හා! හා! විළි නොගනිව්, මා පැමිණෙනා විටදී තුබූ සාද කතාවෙහිමැ ගැලෙව්. තොප සැම අභිවාතක වසංගතය මැඬූ සතොස භුක්ති විඳිනා සෙයක් පෙනේ. එකී සපන්කම මාගේ පමණෙක් නොව මා ඇතුළු තොප සැමගේයැ’යි පවසා, ”එසේ වුවද පමා නොකොට රාජ සභා මන්ත‍්‍රණ පිණිසැ පැමිණෙව්’යැයි පැවසූ රජ්ජුරුවෝ රාජ සභිකයින් තුමූ කෙරෙහි වූ ළැදියාව තවමැ නොසිඳව ඇත්තේ නොවේදැයි පසක් වූ හෙයින් ඉන් ප‍්‍රමුදිතව නැගෙන්නට හා මන්දස්මිතය සඟවා ගෙන, ‘සිව් මහ බඹුන් දුන් විවරණෙන්’ යැයි ප‍්‍රශස්තියේ පද මුමුණමින් එකී සිව් මහ බඹුන් කවුරුන්දැයි ප‍්‍රශස්ති පද බඳින්නා කැඳවා දැනැගත යුත්තේයැයි සිතමින් රජසබයෙහි ඉතිරි පිය ගැට නැගැ රාජ සභා ඇතුළු ගෘහයට ඇතුළු වන්නාහ.

එකල්හි මැටි ඇමැටි සභිකයන් කැලතෙන් එකකු රජතුමාණන් එතැනින් නික්මව ගොස් ඇතිදැයි සැකැ හැරැ ගනු වස් පියගැට පෙළ ඉස්මත්තට සොරකු මෙන් ගාටා රජසබ ඇතුළු ගෙයි දෙසට එබිකම් කොට සැකැ හැරැගෙන පහළට පියමැනැ, ”සකියනි, තව ඇබින්දෙන් මහා ජලතරයක් කඩා පාත්වන්නායැ. කෙස් ගසෙන් ගැලවුනෙමුයැ’යි සැනැසුම් සුසුම්වැ අනෙකුන් හා එක්වැ යමෙකුගේ සම්ප‍්‍රාප්තියක් අපේක්ෂාවෙන් දියවනා හොය මතින් වූ ඒ දණ්ඩ දෙසැ නෙත් හෙළාම සිටිනාහ. එකල්හි වවුලකු ඉගිල යන කල්හි මෙන් සුළෙඟ් ලෙළෙනා උඩු කබා වස්ත‍්‍රයෙන් හා ගෙල වැල ලා ගත් එකකු සේ හමනා සුළඟින් ග‍්‍රීවයේ සිට සිරස්වැ ඉහළට ලෙළදෙනා කරපටයෙන් ද දෙපාමැ වැසෙනා සේ හැඳි කලසම් වස්ත‍්‍රය හා පමණට වඩා සිර වූ මිරිවැඩි හෙයින් අපාසුවෙන් එහෙත් හැකි වෙර යොදා දිවගෙන එන්නා වූ පුඟුලකු දක්නා පියගැට මත්තෙහි හිඳ කරවැල් කොකුන් සේ ගෙල දිගු කොට කිසිවකු එනතෙක් අපේක්ෂා දල්වා හිඳිනා වූ මැටි ඇමැටි හැත්ත, ”සකියනි, යමකු හැල්මේ රාජ සභාව දිසාවට දිව එනා බවක් පෙනේ. එසේවතුදු අප ඉටු දෙවියා බවක් නම් නොපෙනේ. මන්ද ගෙම්බන්පිලයා හා වූ ආරෝව යුවරජු අණින් සමථයකට පත් වූ බවක් මතකයැ. කිසිවකු උහු ලූහු බඳනා සෙයක්ද නොපෙනේ. මුහු කවරෙක්දැ සකියනි, වරෙව, තොපත් දෑස් කාච නාභිගත කොට බලව්. අප ඉටු දෙවියාට කිසියම් වූ විපතෙක් නම් දිවි නොතකා උහු රැක ගනිව්. වරෙව්’යැයි කියමින් දිව එන පුඟුලා පෙර මගට දිව යන්නට සැරසී, ”මඳක් නවතිව් සකියනි, තෙල දිව එන පුඟුලාගේ හති ලන මුව වටා, පදම සරි වන්නට පෙරාතුව කාල දොදොල අනුභව කළ එකකු සේ වන්නා වූ කාල වර්ණ ගෝලාකාර රවුළු වටය බලව්. ප‍්‍රාණය අනැවැසි සේ දිව එන්නේ ගොයිතැන් ඇමැට්ටා වූ නවගමයා වියයුත්තේයැ. ඒකාන්තයෙන්මැ තෙල විස පොහොර නෞකාව නැව්තොටට පැමිණ ඇති සේයැ’යි පවසා උහු දිව එන පෙරමඟ බලා හිඳිනාහ. නවගමයාද තුමූ පසුපස කිසිවකු හඹා නොඑනා බැව් පසක් කොට වේගය බාල කොට ළය පෙදෙස පිරිමදිමින් ගැල් සියයක් එකවර ඇදි වෘෂභයකු සේ හතිලමින් පැමිණෙනුයේ මැටි ඇමැටි කැලත උහු වට කොට කාරණා විමසනාහ. ”සකියනි, තොපද සීරුවෙන් සිටුම කොහොමටත් සොඳ බැව් පෙනෙනායැ. මෙතෙක් මා සරි වූ පඹයන් පිලිස්සූ තෙල ගොවි අපතයන් දැන් මා පිලිස්සුම් පිණිස හඹා එන්නාහ. දිවි ගැලැව ගත්තේ කෙස් ගසිනි. තෙපිද සෝදිසියෙන් සිටිව්’යි පවසා වටපිට බලමින් සොරකු සේ රජසබයට වදිනායැ.

එබස් අසා එකිනෙකාගේ මුහුණු සොරැසින් බලනා මැටි ඇමැටි කැල, ”ජනතා සේවය පිණිසැ අප විඳිනා දුක් දන්නේ අපයැ’යි මුමුණා ගනිමින් තවදුරටත් අපේක්ෂාවෙන් දියවනා හොය එපිටින් වූ රාජසබ මහ ද්වාර පිවිසුම දෙස නෙත් හෙලා සිටිනාහ. මඳ වේලාවක් එසේ සිටි කල්හි ස්වේත වර්ණ පිළියකින් හිස පූර්ණව වසා ගෙන සොල්මනක් මෙන් එන්නා වූ එකකු දැකැ සොඳින් බලනුයේ උඩු කය වසනා කපට වස්ත‍්‍රය මිස යටි කයට හැඳි වස්ත‍්‍රයක් නොදැක යටි සළුව ගලවා මුව නොපෙනෙනා සේ හිස වසා පැමිණෙනා වූ එකකු බැව් පසක්වැ, ‘මුහු කවරකු විය හැක්කේදැ?’යි සිතාගත නොහී බලා හිඳිනුයේ පියගැටපෙළ සමීපයට සොරකු සේ පැමිණි හිස වැසූ මානවකයා හිසෙහි වූ ස්වේත පිළී කඩ ගලවා යටි කයට හඳනා අතරතුර, ”තොප මට කෝචොක පානාදැ? බලව්, තොප සැමටමැ මෙසේ යායුතු කාලය පෙනෙනා තෙක් මානයේයැ’යි පවසා පියගැටපෙළ නගිනායැ. අඤ්ඤකොරොස වූ මැටි ඇමැටි කැළ, ”තෙල අපට සත්තමක් පෑයේ ගොනාවඞ්ඩන වාණිජ ඇමැට්ටා නොවේදැ? සාගිනි ඉවසනු නොහී වැසියන් පණ හානි කරගන්නා බැව් උහුට සැලව ඇති සේයැ. උන් එදුකින් මුදවා ගැනුමට අපට ඇවැසි යටිතල පහසුකම් සැපයිය යුත්තේ නොවේදැයි මුනට නොතේරෙන සැටි’යි එකිනෙකාට මුමුණා ගනිමින් යළි රජසබා මග දෙස නෙත් හෙලනාහ. එකිනෙහිමැ දියවනා හොය තරණය කරනා කාලවර්ණ කලසම් කබා වස්ත‍්‍ර හැඳි පුරුෂයකු දැකැ, ”අප ඉටු දෙවියා වඩනායැ’යි මහත් වූ ප‍්‍රීති ඝෝෂා කෙරෙමින් දිව එන්නා වූ මැටි ඇමැටි කැළ එකී පුරුෂයා ඔසවාගෙන කරමත හිඳුවා ගන්නේ, ”අපටත් රජෙක් පහළව ඇතේ’යැයි මහ හඬින් ගයමින් හුරේ නද පාමින් රජසබ මග දිගේ රැගෙන යන්නාහ. එබැව් දක්නා දොරටුපාල සෙබළු අන්ද මන්දවැ, ”ස්වාමීනී, නුඹ වහන්සේලාට වැරදීමක් සිදුව ඇත්තේයැ. අප මහරජාණන් වහන්සේ ස්වල්ප මොහොතකට පෙරාතුව රජසබයට වැඩම කළෙහියැ. මේ වනාහී පොට්ටු ලේකම්තුමාණන් වන කාරියෙහි වසනා සාගර තුමායැ’යි යටහත් ලීලායෙන් කියනාහ. දොරටුපාලයන්ගේ එබස් අසා කිපෙනා වූ මැටි ඇමැටි කැළ, ”අපට වැරදී නොමැත්තේයැ. වැරදී ඇත්තේ තොපටයැ. අප රජකු සේ මේ සලකන්නේ මෙතුමාටයැ’යි පැවසූ කල්හි දොරටුපාලයෝ, ”ඒ කුමක් හෙයින්දැ?’යි පෙරළා අසනාහ. ”අප දුක බලා අප කෙරෙහි අනුකම්පායෙන් අපගේ රථගාය සුව කරනු වස් අභිනව නිල රථ ආනයන කොට දීමට දිවි නොතකා සටන් කරන්නේ මෙතුමායැ’ යි පවසනේ, ”අපගේ අනන්ත මහා කරුණා සාගරය ඔබයැ. වඩිනු මැනව.’යි අහු යළි කරට ගෙනැ, ”අපටත් රජෙක් පහලවැ ඇතේ’යි හඬනගමින් කරමතින් රජසබ ගෘහය වෙත වැඩම කරනාහ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment